කොළඹ ප්‍රදේශ රැසක් අධිආරක්ෂක කලාප වෙයි – අද උද්ඝෝෂණ රැළියකුත්

කොළඹ ප්‍රදේශ රැසක් අධිආරක්ෂක කලාප වෙයි – අද උද්ඝෝෂණ රැළියකුත්

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත්‍රිවිධ හමුදා මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්ෂක කළාප ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුවයි.

මෙම ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තු සංකීර්ණය, උපරිමාධිකරණ සංකීර්ණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා සහ පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ප්‍රදේශය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පිහිටි ප්‍රදේශ අධි ආරක්ෂක කලාප ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව එම කළාප තුළ ඇතැම් කටයුතු පාලනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට විධි විධාන සැලැස්විය හැකියි.

පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගෙන මිස මෙම කලාපවල පිහිටි මාර්ගවල, පිට්ටනියක, වෙරළක හෝ එළිමහන් ස්ථානවල කුමන හෝ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට අවසර නැහැ.

මීට අමතරව මෙම කලාප තුළ යම් ගොඩනැගිල්ලක්, තාවකාලික හෝ ස්ථිර ඉදිකිරීමක් සිදුකිරීමටද නිසි බලධාරියාවන ආරක්ෂක ලේකම්වරයාගෙන් පූර්ව අවසරයක් ලබාගත යුතුයි.

කවර හේතුවක් නිසා හෝ අධි ආරක්ෂිත කලාප තුළ රතිඤ්ඤා හෝ ගිනිකෙළි දැල්වීමට අවසරයක් නැහැ. මෙම නියෝග උල්ලංඝනය කිරීම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ වරදක් ලෙස සැලකෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකුට මහාධිකරණයක් විසින් මිස ඇප නොදිය යුතු බවත් අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

අරගලයට නව ජවයක්, තරුණ බලය යළි කොළඹට යන තේමාව මුල් කරගෙන අද (24) පාගමනක් සහ උද්ඝෝෂණ රැළියක් පැවැත් වීමට තීරණය කර ඇතැයි අරගලකරුවන් පවසනවා.

ඒ අනුව අද සවස 2.00ට ලිප්ටන් වටරවුවෙන් පාගමන සහ උද්ඝෝෂණ රැළිය ආරම්භ කරන බව අරගලයට සම්බන්ධ පිරිස් වැඩි දුරටත් පැවසීය.