ගමන් බිමන් යන්න අලුත් බෝට්ටු සේවාවක්

ගමන් බිමන් යන්න අලුත් බෝට්ටු සේවාවක්

බත්තරමුල්ල, දියත උයන සහ අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කළේ, කොළඹ නගරයේ දෛනිකව ඇති වන මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම සේවාව සැප්. 23 වන දා සිට ක්‍රියාත්මක කළ බව ය.

විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සහ ජෙන්සෝ පවර් ටෙක්නොලජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඒකාබද්ධව මෙම මගී බෝට්ටු සේවාව ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කර ඇත්තේ, මෙම මගී බෝට්ටු සේවාව සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන මෙරට පළමු බෝට්ටු සේවාව බව ය.

සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන බැවින් මෙය සියයට සියයක් ම පරිසර හිතකාමී බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

එමෙන් ම, ඉදිරියේදී කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ත් මෙය දෙස් විදෙස් සංචාරක ආකර්ශනයයට හේතුවක් වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමෙන් වර්තමානයේ රට මුහුණ දෙන ඉන්ධන ගැටලුවලට මෙන් ම විදුලි අර්බුදයටත් විසදුමක් ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට⁣ මෙම බෝට්ටු මගින් විනාඩි 30ක් ඇතුළත ළඟා වීමට හැකියාව ඇත.

එමෙන් ම, බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 200ක මුදලක් අය කෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරේ.

දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 8 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයේ.

තව ද බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පුද්ගලික කාර්යාල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, නාවල විවෘත විශ්වවිද්‍යාලය, 176, බස් මාර්ගය, 138 සහ 122 බස් මාර්ග, වැල්ලවත්ත දුම්රිය ස්ථානයට මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟා වීමට හැකියාව ඇත.

COMMENTS