හන්තානේ දී උස්සන්න හැදූ තෙල් බවුසරය පොලීසිය දැවැන්ත මෙහෙයුමකින් බේරා ගනී

හන්තානේ දී උස්සන්න හැදූ තෙල් බවුසරය පොලීසිය දැවැන්ත මෙහෙයුමකින් බේරා ගනී

මහනුවර – හන්තාන කන්දේ සවිකර ඇති පෞද්ගලික දුරකථන සමාගමක සම්ප්‍රේෂණ කුලුනේ විදුලිජනන යන්ත්‍ර සඳහා රුපියල් ලක්ෂ 13 ක් වටිනා ඩීසල් තොගයක් රැගෙන ගිය ඉන්ධන බවුසරයක් පැහැරගැනීමට උත්සාහ කළ දෙදෙනෙකු පොලිසිය මහත් පරිශ්‍රයක් යොදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ සිට ඉන්ධන තොගය රැගෙන මෙම බවුසරය හන්තාන සම්ප්‍රේෂණ කුළුණ බලා පිටත්ව ගොස් තිබුණේ ඊයේ අළුයමයි.

කොල්ලකරුවන් සිව්දෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ ඉන්ධන බවුසරයට ගමන් කර නොහැකි ලෙස නවතා තිබුණා.

සැකකරුවන් බවුසරයේ රියදුරුට සහ සහයකට පහරදී ඔවුන් සතු මුදල් කොල්ලකා ඇති අතර, මෙම බවුසරයට මග පෙන්වමින් කැබ් රථයකින් ගමන් ගත් පෞද්ගලික දුරකථන සමාගමේ නිලධාරියෙකුට ද පහර දී ඇති බවයි වාර්තාවන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මහනුවර මූලස්ථාන පොලිසියේ හදිසි ඇමතුම් අංකයේ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.