අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනයට එරෙහිව ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයට

අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම බල රහිත කරන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහා නීතිඥ සුදත් වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන අය නම් කර තිබෙනවා.
රාජ්‍ය රහස් පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් වැඩිදුරටත් කියා සිටින්නේ, එම පනත යටතේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.
එසේ ම තමන්ට පැවරී ඇති බලතල අභිබවා ගොස් ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බව පවසන පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, එ මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
මේ අතර අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ද, පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු එය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

