උසස් පෙළ කල් නොදැම්මොත් උසාවි යනවා – උදය ගම්මන්පිල (Video)

උසස් පෙළ විභාගය කල් දැමීමට රජය පියවර නොගත්තොත් පිවිතුරු හෙළ උරුමය ඊට එරෙහිව අධිකරණය ඉදිරියට යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ ය.
විභාගය කල් දැමීම කළ යුතු නැතැයි පවසන ඕනෑ ම අයෙකු සමඟ තමන් විවාදයකට සූදානම් බව ත්, ඕනෑ ම නාලිකාවක ප්‍රසිද්ධියේ එම විවාදය කරන්නට එන බව ත් ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව කීවේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී ය.
ඉතිහාසයේ දැවැන්තම අභියෝගයට මුහුණ දුන්නේ මෙවර උසස් පෙළට මුහුණ දෙන දරුවන් බව ත්, කොරෝනා වසංගතය හේතුවෙන් පාසල්, ටියුෂන් පන්ති වසා දැමීමත් කල් ඇදුණු ගුරු වර්ජනයකටත් මුහුණ දුන් බවත් කී මන්ත්‍රීවරයා තෙල් හිඟය නිසා ගමනාගමනය බිඳවැටීමට මෙන් ම විදුලිය කැපීමට තවමත් මුහුණ දෙන බවත් පෙන්වා දුන්නේ ය.
විෂය නිර්දේශ ආවරණය කරගත නොහැකිව සිටින බව ගුරුවරුන් හා සිසුන් පෙන්වා දුන්නේ යැයි කී ගම්මන්පිල මහතා දෙවන තෙවන වතාවට විභාගයට මුහුණ දෙන දරුවන්ගේ තත්ත්වය වඩාත් ශෝචනීය බව ද කියා සිටියේ ය.
2021 වසරේ විභාගය අවසන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට දින 202ක් ගත්තත් විභාගයට සූදානම් වීමට ලබාදී ඇත්තේ දින 98ක් පමණක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
විභාගය කල් දමා ගැනීම සඳහා අන්තර්ජාල ටෙලිග්‍රෑම් සමූහයට මේ වන විට දරුවන් 110,000කට අධික පිරිසක් එක්ව සිටින්නේ යැයි ද ඔවුන්ට සාධාරණය ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් පෙනී සිටින්නේ යැයි ද හෙතෙම කියා සිටියේ ය.

