ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාවලිය වැඩි ඡන්දයෙන් සම්මතයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාවලිය සම්මත වී තිබෙනවා.
ඊට පක්ෂව ඡන්ද 20ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 07ක් පමණයි.
ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම මෙම යෝජනාවට අයත් වන අතර කරුණු 19 ක් ඊට ඇතුළත්
ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම, බරපතල ඉන්ධන හිඟය, ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි යෝජනාවලියෙන් දැඩි අවදානයක් යොමු කර ඇති බවද සඳහන්.
ආර්ථික කඩා වැටීම හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද එහි දැක්වෙනවා.
එහි අවසානයේ යෝජනාව සම්බන්ධයෙන් සිදු කළ, ඡන්ද විමසීමේ දී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ප්රමුඛ රටවල් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව නියෝජිතයින් 20 දෙනෙකුගේ ඡන්දය ප්‍රකාශ කෙරුණා.
මෙහි දී අමෙරිකා එක්සත් ජනපදය සමග එක්ව, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, ඇතුළු තවත් රටවල් ගණනාවක් එක්ව සිටියා.
අදාල ඡන්ද විමසීමේ දී, ඉන්දියාව, ජපානය, බ්‍රසීලය, කටාර් රාජ්‍යය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් 20ක් සිය මතය පළ කිරීමෙන් වැලකී සිටියා.
මේ අතර, මෙතෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සහායෝගය දැක් වූ ලිබියාව මෙවර සහාය පළ කරමින් ඡන්දය ලබා දුන්නේ නැහැ.
අදාල යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල් වූයේ, බොලීවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්ථානය, උස්බෙකිස්ථානය සහ වෙනිසුවේලාවයි.
ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්ද 13කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කෙරුණා
මෙම රටවල් යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවටයි.
මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්රහාරයන් පිළිබඳවද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවෙන් ඉල්ලා තිබෙනවා.

