ලබන වසරේදී ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ අවදානමක්

වේගවත් උද්ධමනය, පොලී අනුපාත ඉහල නැංවීම, වර්ධනය අඩාල කිරීමට මහ බැංකු බල කිරීම ආදී හේතු නිසා ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් ඊයේ (10) ප්‍රකාශ කළා.
ලෝක බැංකු සභාපති වරයා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව අමෙරිකාවේ වොෂිංටන් හිදී අද ආරම්භ කරමින්.
එළඹෙන 16 වනදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ලොව සෑම රටකම මහ බැංකු අධිපතිවරුන්, මුදල් අමාත්‍යවරුන්, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වනවා.
මේ අතර මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා කියා සිටියේ ඉහළ ණය ගැනීමේ පිරිවැය මේ වන විටත් ලොකු ව පුරා රටවල ආර්ථිකයන්ට බරපතල ප්‍රතිවිපාක අත්කර දෙමින් සිටින බවයි.
ඇමෙරිකාවේ වොෂිංටන් හිදී පැවැත්වෙන මෙවර වාර්ෂික ඒකාබද්ධ සමුළුවේ මූලික අරමුණු වන්නේ ලෝක ආර්ථිකය ප්‍රමුඛ ගෝලීය ප්‍රවනතා, දුප්පත්කම තුරන් කිරීම, ආර්ථික සංවර්ධනය මෙන්ම ආධාර භාවිතයේ කාර්යක්ෂමතාව වැනි කරුණු ඇගයීමට ලක් කිරීමයි.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන එක්ව සිටිනවා.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා කාර්යය මණ්ඩල එකඟතාවකට එළඹ ඇති පසුබිමක ශ්‍රී ලංකාව මෙම සමුළුවට එක්ව සිටීමත් විශේෂ සිදුවීමක්.

