දරුවන් පළිහක් ලෙස පෙළපාළිවලට රැගෙන යාම බරපතල වරදක්

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේය.
“ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජයීය වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුක්තව වර්ධනය කළ යුත්තේ ය,” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තියේ 13 වන උපවගන්තිය යටතේ ඇති කරුණු සිහිපත් කර ඇති ජනාධිපතිවරයා දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්රමුඛ වගකීම බව අවධාරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අද (12) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය.


