සනත් නිශාන්තව අත්අඩංගුවට ගැනීමට නියෝග

සනත් නිශාන්තව අත්අඩංගුවට ගැනීමට නියෝග

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝග කර තිබේ.

ඔහු අධිකරණයට අපහාස කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය එලෙස නියෝග කර ඇති බව ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා අද අධිකරණය හමුවේ පෙනී සිටින්න ලෙස දන්වා අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සැප්. 29 වන දා සිතාසි නිකුත් කර තිබිණි.

ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය එදින නිකුත් කර තිබිණි.

අගෝස්තු මස 23 වන දා පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට මහෙස්ත්‍රාත්වරුන් ඇප ලබා දීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කර ඇති බවට ත් එම ප්‍රකාශය තුළින් අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක් කර නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කර ඇති බවට ත් සනත් නිශාන්ත එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

එමෙන් ම, අදාළ ප්‍රකාශය හරහා මහ ජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳ හෙළීමට ක්‍රියා කර ඇති බවට ද චෝදනා කර තිබිණි.

සනත් නිශාන්ත මේ වන විට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

COMMENTS