ආර්ථිකය ස්ථායීකරණයට අදාළ ජනතා අදහස් ලබා ගැනීමට ඩිජිටල් වේදිකාවක්

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ ජනතා අදහස් ලබා ගැනීමට ඩිජිටල් වේදිකාවක්

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවට ජනතා අදහස් ලබා ගැනීමට ඩිජිටල් වේදිකාවක් සකස් කරන බව එහි කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරනවා

ඒ මහතා මේ බව සඳහන් කළේ උක්ත අනු කමිටුව විද්වත් අදහස් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි

එහිදී රටේ පවතින වත්මන් ණය තත්ත්වය සහ අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමේදී ඇති විය හැකි ප්‍රතිපත්තිමය තත්ත්වයන් පිළිබඳ අවධාරණය කර තිබෙනවා

මෙහිදී ශ්‍රී ලංකා මහ බැකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ආචාර්ය එම්.ඉසෙඩ්.එම්. ආසිම් මහතා අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ එළඹෙන ජනවාරි මාසය වන විට පවතින තත්ත්වයේ යම් සහනදායි වෙනසක් ඇති වනු ඇති බවයි.

මෙහිදී කමිටුවේ අවධානය යොමු වූයේ ආර්ථික ස්ථායීකරණය ඇති කිරීම සඳහා රුපියල ඩොලරයට සාපේක්ෂව පවත්වා ගැනීම, බදු වැඩි කිරීම, ආනයන සීමා පැනවීම වැනි කරුණු හේතුකොට ගෙන ඇති වන සමාජ පීඩනය පිළිබඳවයි.

මෙම තත්ත්වයට සාපේක්ෂව සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කඩා වැටීම, විරැකියාව අධික වීම, දුප්පත්කම වැඩිවීම ආදී කරුණු හේතුවෙන් ඇති වන සමාජීය ගැටළු පිළිබඳවද කමිටුවේ අවධානය යොමුව තිබෙනවා

මෙහිදී සභාපති පාඨලී චම්පික රණවක මහතා මුදල් අමාත්‍යාංශයට සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ශ්‍රී ලංකාවේ කුටුම්භ පිළිබඳ සමීක්ෂණය වහා කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා ලෙසයි.

මෙම සමීක්ෂණය වසර තුනක කාලයකට සිදු කොට නොමැති නිසා සමීක්ෂණය සිදු කිරිම මගින් සමාජීය කඩාවැටිම අවබෝධ කොටගෙන ඉදිරි ප්‍රතිපත්ති සකස් කිරිම වඩා උචිත වනු ඇති බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා

දැනට ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරනු ලබන සාකච්ඡා හේතුකොටගෙන කිසියම් ආකාරයට පීඩනයට පත් වන විවිධ ක්ෂේත්‍ර පිළිබඳව සහ ණය ස්ථායිකරණයට අදාළ යෝජනා ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමටද කමිටුව විසින් සැලසුම් කොට තිබෙනවා.

COMMENTS