මහින්දට මෙහෙම වුණේ “බේබිලා” නිසයි – විමල් වීරවංශ

මහින්දට මෙහෙම වුණේ “බේබිලා” නිසයි – විමල් වීරවංශ

මහින්ද රාජපක්ෂ මහතා ඔය තත්වයට ඇද වැටුණේ බේබිලා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) උත්තර ලංකා සභාගය මාතර සම්ප්‍රාප්තිය වැඩසටහනට එක්වෙමින්,

කලින් කැබිනට්ටුවේ සිටියේ රාජපක්ෂලා තුන් දෙනෙකු පමණක් බවත් මේ පාර එය පහක් වුණු බවත් ඔහු සඳහන් කළේය.

ලැජ්ජාව බය තියෙනවනම් ඕක තුනේම තියාගන්නවා යැයිද මන්ත්‍රීවරයා පැවසුවේය.

එහිදී වැඩි දුරටත් දැක්වූ අදහස්,

මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්. ඔන්න තව කැබිනට් අමාත්‍ය ධුර 10ක් දෙන්නයි සූදානම. එතකොට තමයි අංගසම්පූර්ණ වෙන්නේ. කැබිනට්ටුව මල් හතයි කියන්න පුළුවන්. දැන් බලන්න, මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්‍රාම සුවයෙන් ‘අපට ඇත්තටම මොකද වුණේ?’ කියා නිදහසේ සිතිය යුතු කාලයනේ. දැන් ‘අනේ නැගිටිමු!’ කියන්න රට වටේ රැගෙන යනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට දැන් මතකත් නැහැ, ‘කවුද ජනාධිපති, ගෝඨාභය ද ජනාධිපති’ කියා. එයා කියනවා, ‘ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමු’ කියා අනෙක් පැත්තෙන් මතක් කරනවා, ‘රනිල්, රනිල්’ කියා. මහින්ද රාජපක්ෂ කියන්නේ මෙහෙම කරන්න ඕනේ මනුස්සයෙක් ද? තවමත් ඒ පවුලේ අයට මහින්ද රාජපක්ෂ කියන්නේ ‘ප්‍රයෝජ්‍යතාවාදීව බලන ප්‍රපංචයක්’ පමණයි. බේබිලා බලන්නේ, මැරෙන්න ඔන්න මෙන්න තියලා හරි තාත්තාව ඉස්සරහට දාලා මොකක් හරි මැච් එකක් ගහගන්නයි. බේබිලා නිසයි ඒ තත්ත්වයට වැටුණේ.

අපි නුගේගොඩින් 2015 පෙබරවාරි 18 වැනිදා ‘මහින්ද සුළඟ’ පටන් ගත්තේ පරාජයෙන් මොළේට ලාභයක් කරගෙන ඇති කියලයි. 2015දී පරාජය කළේ පවුල් පාලනය කියන චෝදනාව යටතේ. නැවත බලයට ආපුවාම ඒ චෝදනාවෙන්නේ ගැලවිය යුත්තේ. බලන්න වුණේ ‘ගැලවෙන එකද ඇලවෙන එකද’ කියා. කලින් කැබිනෙට්ටුවේ හිටියේ රාජපක්ෂලා තුනයි. මෙන්න බොලේ මේ පාර පහක් ඉන්නවා. ලැජ්ජාව, බය ගෑවිලාවත් තිබුණානම් ඒක තුනේ තියාගන්නවානේ. මාතරටත් දැම්මා නේද හිච්චි එකෙක්? එයා බැසිල්ට උදේට, දවල්ට බත් මුට්ටිය අල්ලපු කෙනාලු. ඒක පවුල් පෙරේතකම. අන්තිමට ඉතිං බැසිල්ට ඇමරිකාවට තොලොන්චි වන තැනට වැඩ සිද්ධ වුණා. අපි ඉන්නවා ලංකාවේ.” යනුවෙන් පැවසීය