ලැබෙන ආදායමෙන් 75% ක් ආහාර වෙනුවෙන් වියදම් කරන්න වෙලා

රටේ සමස්ත ජනගහනයෙන් පහෙන් හතරකට නිසි පෝෂණය සහිත ආහාර වේළක් නොලැබෙන බවත් ජනතාවගේ ආදායමෙන් 75% ක් ආහාර සඳහා වියදම්වන බව ජාතික සභා අනු කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සඳහා වන මෙම ජාතික සභා අනුකමිටුව ඊයේ(19) පාර්ලිමේන්තුවේ දී රැස්වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන්.
වසර දහයක් තිස්සේ රටේ පවතින මන්දපෝෂණ තත්වය වර්ථමානයේදී පවතින ආර්ථික අර්බුදයත් සමඟ ඉහළ ගොස් ඇති නිසා එම තත්වය පිටුදැකීම සඳහා ගත හැකි කෙටි හා මධ්‍ය කාලීන පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.
එහි දී අනාවරණය වුනේ ආදායම් හා ගෘහස්ථ වියදම් පිළිබඳ සමීක්ෂණය 2019 න් පසු සිදුකර නොමැති බවයි.
මේ අතර වත්මන් තත්වය හමුවේ සිසුන් පාසල් වෙත පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ගුරුවරුන් 300 ක් යොදා ගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

