ආර්ථික අර්බුදය හමුවේ කොල්ලකරුවන්ගෙන් මිනිස්සුන්ට දැඩි පීඩා

රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන ආදිය ද වර්ධනය වෙමින් ඇති බව පොලිස් වාර්තා මගින් සඳහන් වනවා. මෙම වාතාවරණය තුළ රට තුළ විවිධ මට්ටමේ අපරාධ කල්ලි ව්‍යාප්තවී ඇති බවද විමර්ශන මගින් හෙළිව තිබෙනවා.
මෑත කාලීනව මූල්‍ය අක්‍රමිකතා වැඩි වශයෙන් වශයෙන් වාර්තා වන අතර ‘තිළිණි ප්‍රියමාලි’ සිදුවීම ඉන් එකක් පමණකි.එම වංචාව සඳහා ඉතා සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, කලාකරුවන්, පොලිස් ලොක්කන් ඇතුළු සමාජයේ වැදගත් යැයි සඳහන් පුද්ගලයන් රැසක් සමඟ ඇය හුදෙකලාව අනඟ රැඟුම් පෑ හැටි ගැන බොහෝ තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඔස්සේ මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.
බොහෝ කොල්ල කරුවන්ගේ ග්‍රහණයට හසු වෙන්නේ බොහෝ සාධාරණ ලෙස සමාජයේ ජිවත් වන මිනිසුන්, ඔවුන් මුළු ජිවිත කාලය පුරාවට ඉතා අමාරුවෙන් උපයාගත් බොහෝ දෑ කොල්ල කරුවන් එක නිමේෂයකින් උදුරා ගනු ලබනවා. සමහර විට මේ හිත් පිත් නැති කොල්ලකරුවන් ඔවුන් ගේ ජිවිත පවා නැති කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.
එවැනි සිදු වීමක් පසු ගියදා මහනුවරින් වාර්තා වුණා, ඒ මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් අම්පිටිය, වැවතැන්න පොල්වත්ත ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවක් පසුගිය (20) වෙනිදා අලුයම එම නිවෙස මංකොල්ලකෑමට පැමිණි පිරිසකගෙන් අසීරුවෙන් දිවි බේරා ගෙන තිබෙනවා.
එහෙත් නිවසේ තිබු රත්රන් බඩු, මුදල්, ගෑස් ළිප, ගෑස් සිලින්ඩරය, රෙදි සෝදන මැෂිම මෙන්ම ඉතා වටිනා පෞරාණික භාණ්ඩ රැසක් මංකොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
මහනුවර අවට ප්‍රදේශයන්හි නිවෙස් තුළ තනිවම සිටි කාන්තවන් තිදෙනෙකු මංකොල්ලකරුවන් ඝාතනය කොට තිබු අතර මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ සියලු ඥාතීන් විදේශ ගතව සිටින අතර ඇය පමණක් තනිවම මෙම නිවසේ වාසය කොට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ අතර කොළඹ ජාතික රෝහලේ සේවිකාවන්ගේ නේවාසිකාගාරයට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනකු ප්‍රධාන ලිපිකාරිනියගේ ගෙලට පිහියක් තබා මරණීය තර්ජන කර ඇය පැළඳ සිටි රන්මාලය කොල්ලකා ගෙන පලා ගොස් තිබෙනවා.
රෝහල් බලධාරීන් පවසන්නේ කොළඹ ජාතික රෝහලේ සේවය කරන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සේවකයන් දෙදෙනකු මෙම කොල්ලකෑම සිදුකරන්නට ඇති බවයි.
කොල්ලකෑමට පැමිණි සැකකරුවන් දෙදෙනා රෝහලේ සුළු සේවකයන්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිට ඇති බව රෝහල් බලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් මරදාන පොලිසියට පැමිණිලි කර ඇතත් මෙතෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.
මෙවැනි අවාසනාවන්ත සිදුවීම් රටේ විවිධ ප්‍රදේශවලින් බහුලව වාර්තා වෙනවා.
මෙවැනි මංකොල්ලකෑම් සඳහා බොහෝ විට පැමිණෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිස් බවයි වාර්තා වෙන්නේ.
පොලිසිය මහජනතාගෙන් ඉල්ලා සිටින්නේ ඉතාම ආරක්ෂාකාරීව සිටින ලෙසත්, යම් සැක කටයුතු පුද්ගලයෙක් වෙතොත් ළඟම පොලීසියට දැනුම් දෙන ලෙසයි.
පොලීසියට කොතෙක් පැමිණිලි කලත් නිසි ක්‍රියා මාර්ග නොගෙනීම සම්බන්ධයෙන් මහජනතාව මැසිවිලි නඟනවා.

