මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ – මහින්ද අමරවීර

ජීප් රථ 32කින් යාල වනෝද්‍යානයට ඇතුළු වී එහි වන සතුන්ට හිංසා වන පරිදි හැසිරීමේ සිද්ධියට තමන්ගේ පුත්‍රයා කිසිසේත්ම සම්බන්ධ නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
එහිදී වැඩි දුරටත් දැක්වූ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ ජීප් රථ වැඩි ප්‍රමාණයක් මීට පෙර ඉන්ධන ප්‍රශ්නය තියෙන වෙලාවේ කුරුණෑගල පැත්තට ආවානෙ අර, මේ ජීප් වැඩි ප්‍රමණයක් ඒ අතර තිබුණු බව තමයි ආරංචි හැටියට අපට දැනගන්න ලැබෙන්නෙ. මේවා නිල වශයෙන් ලැබුණු තොරතුරු නෙවෙයි. මේ ජීප් රථ 32 සම්බන්ධව නිසි ක්‍රියාමාර්ගවලට එළඹිලා තිබෙනවා. විදේශගත වී සිටියත් ඉරිදා උදේ පාන්දර වෙනකොට වීඩියෝ එක මම දැක්කා. ඒකෙ තිබුණෙ ඇමති පුතෙක් සමඟ වාහන මේ විදියට ගිහිල්ලා අනවසරයෙන් මේ කටයුත්ත කළා කියන එක.
මම පළවෙනියටම පොලිස්පතිතුමාට කතාකරලා කිව්වෙ කවුරු මේ ක්‍රියාව කළා වුණත් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඊළඟට මම කතා කළේ අමාත්‍යාංශ ලේකම්තුමියට, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාවත් සම්බන්ධ කරගෙන ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග කවුරු හිටියත් ගන්න කියලා. ඊට පස්සේ මම කතා කළේ මගේ පුතාට. ඒ වනවිට ඔහු කිසිදුම ආකාරයේ එහෙම ගමනක් ගිහිල්ලා නෑ. ඔහු ඒ වෙලාවෙත් අධ්‍යන කටයුතුවල හිටියේ. ඊට අමතරව වෙනම ගෙදරින් පරීක්ෂා කරලාත් බැලුවා. කිසිදු ආකාරයක එහෙම ගමනක් ගිහිල්ලා නෑ. ඒ නිසා මම ඉතාමත් වගකීමෙන් කියනවා මගේ පුතා යාලට තියා ගාල්ලටවත් මම ගියාට පස්සේ ගිහිල්ලා නෑ. මතුගමට ඥාති ගෙදරකට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා හැර කොළඹින් පිට කිසිම දිහාකට ගිහිල්ලා නැතිබව මම හොයලා දැනගත්තා. මේක සම්පූර්ණ අසත්‍යයක්. මේ සමාජ මාධ්‍ය ජාලවල තමා ගොඩක් යන්නෙ මගේ පුතා යාලට ගියා කියලා. මේකෙ කිසිම සත්‍යයක් නෑ, මගේ පුතා සිටි බවට සාක්ෂි තියෙනවානම් මම දේශපාලනයෙන් සමු ගැනීමටත් සූදානම්” යනුවෙන් පැවසීය.

