කිවියන්ට පරාද වීම ගැන දසුන් කණගාටුවෙන් (Video)

කිවියන්ට පරාද වීම ගැන දසුන් කණගාටුවෙන් (Video)

ඊයේ (29) නවසීලන්තය සමඟ පැවති තරඟයේදී උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

විශේෂයෙන් ඔහු මෙහිදී පන්දු රැකීමේදී මතු වූ දුර්වලතාවන් පිළිබඳව අදහස් පළ කළා.

මෙම තරඟයේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ ලකුණු 65 ක දරුණු පරාජයක්.

සිඩ්නි නුවර පැවති තරඟයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 167 ක්.

අනගි ඉනිමක් ක්‍රීඩා කළ ග්ලෙන් පිලිප්ස් නවසීලන්තය වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 104 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කසුන් රාජිත නවසීලන්ත පිලේ කඩුලු 2 ක් බිඳ හෙලුවා.

ලකුණු 168 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දුවාර 19 යි පන්දු 2කදී සියලුදෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 102 ක් පමණයි.

නායක දසුන් ශානක එහිදී ලකුණු 35 ක් රැස් කළා.

භානුක රාජපක්ෂ ලකුණු 34 යි. අනෙක් ක්‍රීඩකයන් සියලුදෙනාම ලකුණු 10 ට අඩු සංඛ්‍යාවකට දැවී යාම විශේෂත්වයක්.

ඒ අනුව, නවසීලන්තය ලකුණු 65 කින් තරඟය ජය ගත් අතර, මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි වටයට පිවිසීම සම්බන්ධයෙන් යම් අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති.

COMMENTS