පක්ෂයක් විදිහට අපේ පූර්ණ සහයෝගය ජනාධිපතිට දෙනවා – නාමල් රාජපක්ෂ

රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂයක් ලෙස පූර්ණ සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළාවැව ආසනයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණු පක්ෂ ක්‍රියාකාරී හමුවකට සහභාගී වෙමිනි.
මාධ්‍යවේදීන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගෙන් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේය.
ප්රශ්නය: එක්ව නැගිටිමු රැස්වීමට ඕන හිඟන්නෙක් එක්ක නැගිටින්න පුළුවන් වගේ කතාවක් මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා, මොකක්ද ඔබතුමා ඒ ගැන දක්වන අදහස?
නාමල් රාජපක්ෂ: මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් දේශපාලඥයෙක්, පරිණත දේශපාලඥයෙක්, රටේ හිටපු විධායක ජනාධිපතිවරයෙක් එතුමාට ඕන කාරණයක් එතුමාගේ දැනුම හැටියට ප්‍රකාශ කරන්න පුළුවන්, එතුමාගේ දැනුමේ මට්ටම අනුව එතුමාට ඕන ප්‍රකාශයක් කරන්න අයිතිය තියෙනවා.
ප්රශ්නය : වත්මන් ජනාධිපතිවරයා රට අසීරු තත්ත්වයෙන් ගොඩ ගැනීමට කටයුතු කළ ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔහුට බලපෑම් එල්ල වන බවටත් මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමන් තවත් චෝදනාවක් කළා නේද?
නාමල් රාජපක්ෂ: අලුත් ජනාධිපතිවරයා පත් කරගන්න ඡන්දේ දුන්නේ කවුද? නැද්ද කියන එක පිළිබඳව හොඳ තක්සේරුවක් රටේ ජනතාවට තියෙනවා. පැහැදිලිව අපේ විශ්වාසය තමයි මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න ඕන. ඒ වගේ ම මේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න ඕන. මේ කාරණා දෙක ඇති කරන්න අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පක්ෂයක් විදිහට අපේ පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේ ම තමයි රාජ්‍යය අමාත්‍යවරු ගත්තත්, කැබිනට් අමාත්‍යයවරුන් ගත්තත් අපේ පක්ෂය නියෝජනය කරන බොහෝ පිරිසක් ඒ අතර ඉන්නවා. හැබැයි අනෙක් පැත්තෙන් මේ රටේ ජනතාව ගැන හිතලා, රටේ ජනතාව ගැන ගන්නා තීන්දු තීරණ වලදී අපි පක්ෂයක් විදිහට එතුමා එක්ක සාකච්ජා කරලා අපි අපේ මතය ප්‍රකාශ කරනවා. විශේෂයෙන් ම බදු සම්බන්ධයෙන් ගත්තම සහ අනෙකුත් කාරණා බොහෝමයක් පිළිබඳව අපි පක්ෂයක් ලෙස එතුමා එක්ක සාකච්ජා කරනවා.
ප්රශ්නය: අයවැය ලේඛනය පරාජයට පත්වී ආණ්ඩුව බිඳ වැටීමේ බරපතළ අනතුරක් පවතින බව ඔබතුමන්ලාගෙන් ම වෙන්වුණ චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරනවා, ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?
නාමල් රාජපක්ෂ: එතුමා එහෙම ප්‍රකාශ කරන්න එපැයි, එතුමා අපෙන් වෙන් වෙලානේ ඉන්නේ, එතුමා වෙන් වෙලා ඉද්දි අයවැය ජයග්‍රහණය කරනවා කිව්වොත් එතුමා එකතු වෙලානේ. මට තව ම තේරුම් ගන්න බැරි උගත් බුද්ධිමත් කියන බොහෝ දේශපාලඥයෝ තවම පටු විදිහට තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න කටයුතු කරන එක ගැන මම කණගාටු වෙනවා. අපි හැමෝම මේ පටු අදහස් පැත්තක තියලා අය-වැය දිනනවා ද, පරදිනවා ද කියලා කියන්න කලින් මොකක් ද අය-වැයේ තියෙන්නේ කියලා එතුමා බලන්න එපැයි.
ඒ අයවැයේ තියෙන්නේ මොනවද නැද්ද කියලා විශ්ලේෂණය කරලා අය-වැය සම්බන්ධයෙන් ගන්න තීන්දුව ගමු. හැබැයි මේ වෙලාවේ මේ රටේ ජනතාව විශාල ආර්ථික පීඩනයකින් ඉන්නේ, මේ ආර්ථික පීඩනයෙන් ජනතාව එළියට ගන්න අවශ්‍ය වැඩපිළිවෙළට අපි එකතු වෙලා කටයුතු කරමු. විශේෂයෙන් ම චන්න ජයසුමන මන්ත්‍රීතුමා අපේ පක්ෂයේ හිටපු කෙනෙක්, ගෝඨාභය ජනාධිපතිතුමා ළඟින් ම හිටපු කෙනෙක් සහ ගෝඨාභය ජනාධිපතිතුමාගේ බොහෝ තීන්දු තීරණවලට උපදෙස් දුන් කෙනෙක් එතුමා, මං පෞද්ගලිකව දන්නවා. අපි ඔය කාරණා පිළිබඳව විවේචනය කර ගන්නේ නැතිව අඩුම ගාණේ මේ වෙලාවේ රටේ ජනතාවගේ පැත්තේ ඉඳලා තීරණ ගමු.
ප්රශ්නය: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බෙදීමත් එක්ක අයවැය ජයග්‍රහණය කර ගන්න පුළුවන් වෙයි ද?
නාමල් රාජපක්ෂ: පොදුජන පෙරමුණේ බෙදීමක් නෑ. හැබැයි නිරන්තරයෙන් අපේ පක්ෂය තුළ අභ්‍යන්තර නිදහස අපි දුන්නා. නොයෙක් දෙනාගේ මත තියෙනවා. අපි සන්ධානගත වෙලා හිටපු දේශපාලන පක්ෂයක් අපේ පොදු ජන පෙරමුණ සමග සහෝදර පක්ෂ බොහෝමයක් ඉන්නවා. ඒ නිසයි මම කිව්වේ අය-වැයේ තියෙන දේවල් බලලා ජනාධිපතිතුමා එක්ක ඉදිරියට යමු.
ප්රශ්නය: ඔබතුමන්ලාගේ පක්ෂයෙන් කිහිප දෙනෙක් ස්වාධීන වෙලා තියෙනවා ඒ හේතුවෙන් පක්ෂයේ ආසන සංවිධායක ධූර පුරප්පාඩු වී තියෙනවා? ඒ වෙනුවට නව අය පත්කිරීමක් කරනවා ද?
නාමල් රාජපක්ෂ: පක්ෂයක් ලෙස අපි පැහැදිලිව ම පක්ෂ ප්රතිසංවිධානයක් කරනවා. අපේ විධායක සභාව අපි ජනවාරී මාසයේ තියෙනවා. ඒ අනුව ඉදිරියේදී අපි පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නවා.

