කැබිතිගොල්ලෑව රත් වෙයි – පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයෙක් මරුට

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්රදේශයේ ඊයේ (31) ඇති වූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
එම ප්රදේශයේ අලියෙකු පහර දීම හේතුවෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවට ලද තොරතුරකට අනුව යි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇත්තේ.
එහි දී එම ස්ථානයේ රැස්ව සිටි ප්රදේශවාසීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමේ දී පොලීසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.
එහි දී පිරිස අතර සිටි අයෙකු විසින් එල්ල කළ ප්රහාරයකින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මිය ගොස් තිබෙනවා.
මෙම විරෝධතාව අතරතුර දී අදාළ පොලිස් සැරයන්වරයා ප්රදේශවාසින්ගේ පහර කෑමට ලක් වූ අතර, පසු ව ඔහු රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.
කෙසේ වෙතත් ඔහු මිය ගිය බව යි අද (01) වාර්තා වුණේ. මිය ගොස් ඇත්තේ, 54 හැවිරිදි වාරියපොළ ප්රදේශයේ පදිංචිකරුවෙක්.

