පාර්ලිමේන්තුවට සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට හැක්වී නෑ -ජනපති

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ.
ජනාධිපතිවරයා විසින් අද ( 03) සිදු කරනු ලැබ ඇති මෙම ලිඛිත දැනුම් දීමෙන් පෙන්වා දී තිබෙන්නේ අදාළ යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බව ය.
මෙරට දිගුකාලීන ක්රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා අතර වන බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව (Committee on Banking and Financial Services) ආර්ථිකය ස්ථායිකරණය පිළිබද කාරක සභාව (Committee on Economic Stabilization) සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව (Committee on Ways and Means) යනුවෙන් වූ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා පත්කිරීමට යෝජනා වුවත් එය මෙතෙක් සිදුව නැති බව ජනාධිපතිවරයා කතානායකවරයාට පෙන්වා දී ඇත.
එසේ ම, ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් පස් දෙනෙකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා ද ක්‍රියාත්මකව නැතැයි ඔහු දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවත්, මෙතෙක් ඒ සඳහා සභාපතිවරුන් පත් කර නොමැති අතර ආංශික කාරක සභා සඳහා පත් කළ යුතු තරුණ නියෝජිතයන් තෝරා ගනු ලබන ආකාරය හා ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් නිර්ණායක සකස් කිරීම සිදුව නැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ලබන වසරේ අයවැය ක්‍රියාත්මක වන විට මෙම යෝජනා ක්‍රියාත්මක කළ හැකි අතර එමගින් රජය අපේක්ෂා කරන පද්ධතිමය වෙනස (System Change) ඉතා ඉක්මනින් ළඟා කර ගැනීමට හැකි වනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසය පළ කර තිබේ.
පාර්ලිමේන්තු අය වැය කාර්යාලය සඳහා වූ නීති කෙටුම්පත ද මේ වන විට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති අතර ඒ පිළිබඳව පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර නීතිපති සහතික කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මේ කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද කතනායකවරයාට දැනුම් දී ඇත.

