ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව වැරදි කළමනාකරණයි – බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු

ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව වැරදි කළමනාකරණයි – බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු භයානක හා දිගුකාලීන වැරදි කළමනාකරණය බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය පසුගිය බදාදා (09) පැවති විවාදයකදී මේ බව කියා සිටියා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ ව්‍යාපාරික කමිටුව විසින් පසුගිය දා මෙම විවාදය ඉල්ලා සිටි අතර එහි දී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ප්‍රතිචාරය සහ වත්මන් ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියේ ආධාර ලබා දීමේ ක්‍රියාවලිය සිදු වන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීම අරමුණු වුණා.

මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා පැවති විවාදයේ දී, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු උප ලේකම් (විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලය) පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝ ඩොචර්ටි අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු භයානක හා දිගුකාලීන වැරදි කළමනාකරණයත්, 2019 වසරේ සිදු වූ බිහිසුණු පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතය සහ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය නිසා ඇති වූ ආර්ථික ප්‍රතිවිපාක බවයි.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා ස්ථාවර දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍ය බව බ්‍රිතාන්‍ය රජය විශ්වාස කරන බව පාර්ලිමේන්තු උප ලේකම්වරයා කියා සිටියා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පළ කිරීමේ දී ඒ සඳහා කොන්දේසි පැනවීමට ඇතැම් මන්ත්‍රීවරුන් යෝජනා කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු උප ලේකම් ඩොචර්ටි කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එහි පාලන ව්‍යුහය තුළ, හැකියාව ඇත්තේ ආර්ථික ප්‍රතිපත්තියට සම්බන්ධ කොන්දේසි පැනවීමේ හැකියාව මිස දේශපාලන හෝ මානව හිමිකම් සම්බන්ධ කොන්දේසි නොවන බවත් නමුත් ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය වන්නේ මානව හිමිකම් ප්‍රගතිය ආර්ථික ප්‍රගතියට සමගාමීව ඉදිරියට යාමට බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වගවීම සහ මානව හිමිකම් ප්‍රගතියට පත් කිරීම සඳහා අපි වෙනත් යාන්ත්‍රණ භාවිත කළ යුතුයි යනුවෙන්.

තව ද මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගන්නා ලෙස බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවෙන් දිගටම ඉල්ලා සිටින බව ද ඔහු එහි දී සඳහන් කළා.

අදාල විවාදය අවසන් කරමින් කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී එලියට් කොල්බර්න් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන තමන්ගේ උත්සාහය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසයි.

https://bit.ly/3G7wFiR