ප්‍රදේශ කිහිපයකට සුළු වැසි – මුහුදු නොයන්නැයි උතුරේ ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
කෙසේ නමුත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
මේ අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දක්වන කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටින්නේ, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.
එසේ ම, ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් 2022 නොවැම්බර් මස 20 සහ 21 දින වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව තමිල්නාඩු ප්‍රදේශයට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේතුව පවසනවා.
මේ අතර කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලබන සඳුදා දක්වා යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

