චීනයේ අරගලකරුවන් දිනයි – රජය පල්ලම් බහී

චීනයේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති බව එරට උප අගමැතිවරිය පවසා තිබේ.
මීට හේතු වී ඇත්තේ පසුගිය සතියේ චීනය පුරා මතුවූ කොවිඩ් මර්දන නීති රීතිවලට එරෙහි විරෝධතා මාලාවයි.
චීනයේ බටහිර සින්ජියැන්ග් ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය යාමෙන් පසු මෙම නොසන්සුන්තාව ඇති වුණා.
කෙසේ වෙතත් චීන බලධාරීන් පවසන්නේ මෙම මරණ වලට කොවිඩ් මර්දන නීති රීති බලපෑමක් සිදු නොකළ බවයි.
නමුත් බොහෝ චීන ජාතිකයින් විශ්වාස කරන්නේ නගරය තුළ ක්‍රියාත්මක වූ දිගුකාලීන කොවිඩ් සීමා කිරීමේ අණපනත් හේතුවෙන් මෙම මරණ සිදු වූ බව, සහ ගලවා ගැනීමේ සේවාවන් ප්‍රමාද වූ බවයි.
මේ සමඟ මතු වූ විරෝධතා රැල්ල දින ගණනාවක් පුරා විවිධ නගර පුරා පැතිරුණු අතර, දැඩි පොලිස් බල ඇණි වල මර්දනය හමුවේ එය පහව ගියා.
කෙසේ වෙතත් ගුවැන්ෂු වැනි ප්‍රධාන නගරවල සීමාවන් ඊයේ (30) හදිසියේම ඉවත් කර ඇති අතර, නගරය තුල ප්රචණ්ඩ විරෝධතා හමුවේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ද ඇති වුනා.
මේ වන විටත් බීජිං අගනුවර මෘදු රෝග ලක්ෂණ සහිත කෝවිඩ් රෝගීන්ට නිවසේදී හුදකලා වීමට ඉඩ දී තිබෙනවා.
එය මේ වසර මුලදී ක්‍රියාත්මක වූ කොරෝනා මර්දන ක්‍රමවේදයට වඩා බොහෝ ලිහිල් ක්‍රමවේදයක්.
වසංගතය ආරම්භ වූ දා සිට චීනයෙන් මෑත දිනවල දී වැඩිම දෛනික කෝවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර ඊයේ රෝගීන් 36,000 කට වඩා වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත්, බිලියන 1.4 ක ජනගහනයක් සිටින රටකට මෙය තවමත් ඉතා කුඩා සංඛ්‍යාවක් වන අතර, චීනයේ වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා නිල වශයෙන් පුද්ගලයින් 5,200 කට වඩා මිය ගොස් තිබෙනවා.

