වකුගඩු ජාවාරමේ සැකකාර වෛද්‍යවරයා ඇතුළු හයකට රට ගමන් තහනමක්

වකුගඩු ජාවාරමේ සැකකාර වෛද්‍යවරයා ඇතුළු හයකට රට ගමන් තහනමක්

බොරැල්ල කොටා පාරේ රෝහලක දී පසුගිය දා හෙළිදරව් වූ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කරුවකු දෙසැම්බර් 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළා.

සැකකරු මීළඟ නඩු දිනයේ දී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පැමිණිල්ලේ ඉල්ලීමකට අනුව පෞද්ගලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ඇතුළු එහි අධ්‍යක්ෂවරුන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබ තිබෙනවා.

මෙම සංචාරක තහනම් නියෝගය ආගමන හා විගමන පාලක ජනරාල් වෙත දැනුම් දීමට නියමිත බව යි වාර්තා වන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වා ඇත්තේ, දරිද්‍රතාවෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් වකුගඩු ලබාගෙන ඇති බවත්, එක් වකුගඩුවක් සඳහා මිලියන 5 සිට 10 දක්වා ගෙවීමට පොරොන්දු වී ඇති බවත් ය.

මෙම වසර තුළ මෙම රෝහල මඟින් වකුගඩු ආශ්‍රිත සැත්කම් 52ක් පමණ සිදු කර ඇති බව යි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

COMMENTS