රට ගොඩගන්න තරුණ සහභාගීත්වය ඉතා වැදගත් – රනිල් වික්‍රමසිංහ

වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් අද (11) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමින්.
රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරී තත්ත්වයක පැවති අවස්ථාවක දී වුව ද තමා රට භාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීමට බව පැවසූ ජනාධිපතිවරයා අප තීන්දු තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් වසර 25ක ඉදිරිය ගැන සිතා බවයි මෙහිදී සඳහන් කළේ.
සංවර්ධිත රටක් කරා යන ගමනට තරුණ තරුණියන් දායක කර ගැනීමේ වැඩපිළිවෙල මේ වන විටත් රජය අරඹා ඇති බව පැවසූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවලට තරුණ නියෝජිතයින් පත් කිරීමට යෝජනා කර තිබෙන බව ද ප්‍රකාශ කළා.
2023 වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව “ජාතික තරුණ වේදිකාවක්” නිර්මාණය කර තිබෙන බවත්, සිංගප්පූරුව, ජපානය, චීනය සහ කලාපයේ අනෙකුත් සංවර්ධිත රටවල ආර්ථිකය මෙන් දියුණු ආර්ථිකයක් කරා අප යන ගමනට අත්වැලක් වන අයුරින් එම තරුණ වේදිකාව පැවැත්විය යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඊට සහභාගී වන ලෙස ද තරුණ තරුණියන්ට ඇරයුම් කර සිටියා.
ගෝලීය අර්බුදයක් වී ඇති දේශගුණික විපර්යාස ගැටළු අවමකර ගැනීම සඳහා තරුණ තරුණියන්ගේ අර්ථවත් අදහස් ලබාගැනීම සඳහා දියත් කළ දේශගුණික විපර්යාස වැඩසටහන සමඟ එක් වන ලෙස ද ජනාධිපතිවරයා ලියෝ සාමාජිකයන්ට මෙහිදී ආරාධනා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජ විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබු “බීජ පත්‍රිකාව” ඇගයීමට ලක් කළා.

