පුංචි ඡන්දය ඉල්ලා පෙත්සම් දෙකක්

පුංචි ඡන්දය ඉල්ලා පෙත්සම් දෙකක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, එම් ඒ සුමන්දිරන්, අනුර ප්‍රියදර්ශන යාපා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඇතුළු එහි සාමාජිකයින් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අය නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ආයතන 340 ක පමණ නිල කාලය ලබන වසරේ මාර්තු මස 19 වන දා අවසන්වීමට නියමිතව තිබෙන බවයි.

ඒ අනුව ලබන වසරේ මාර්තු මස 20 වනදායින් ඇරඹෙන පළාත් පාලන ආයතන සඳහා වූ නව නිල කාලය උදෙසා වන ඡන්ද විමසීම පැවැත්වීමේ අභිලාෂය ප්‍රකාශයට පත්කරන ප්‍රකාශනයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම් වලින් තවදුරටත් ඉල්ලා තිබෙනවා.