පොහොට්ටුව එජාපය සමඟ දීගයකට සැරසෙයි

පොහොට්ටුව එජාපය සමඟ දීගයකට සැරසෙයි

රට වෙනුවෙන් යමක් කළ හැකි නම් දෙපාර්ශ්වයේ ප්‍රතිපත්තිවලට හානි නොවන අයුරින් එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුලස්ථානයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

රටේ අනාගතය හා තරුණ පරපුර වෙනුවෙන් වූ ප්‍රතිපත්ති මාලාවක් සමඟ ඉදිරියට යෑමට ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගත වීමට සූදානම් බව ඔහු එහිදී කියා සිටියා.

සාගර කාරියවසම් වැඩි දුරටත් දැක්වූ අදහස්,

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඇතිවයි. ඒ මත අප පක්ෂ දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ගොඩනැඟී තිබෙනවා. අපේ ප්‍රතිපත්තිවලට වගේම ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට හානි නොවන අයුරින් අප දෙපාර්ශ්වයට රට වෙනුවෙන් එකතු වෙන්න පුළුවන්නම් අනිවාර්යයෙන් එකතු වෙනවා.

එක්සත් ජාතික පක්ෂය මේ රටේ පැරණිම දේශපාලන පක්ෂවලින් එකක්. එවැනි පක්ෂයක් සමඟ එකතුවීමත් අපිට ශක්තියක්. රටේ අනාගතය තරුණ පරපුර වෙනුවෙන් වූ ප්‍රතිපත්තිමාලාවක් සමඟ ඉදිරියට යන්න පුළුවන් ඕනෑම පක්ෂයක් සමඟ එක්ව ඉදිරියට යන්න අප සූදානම්. ප්‍රතිපත්ති රටේ හා ජනතාවගේ අවශ්‍යතා මත වෙනස් නොවුනහොත් ඒ දේශපාලන පක්ෂයකට පැවැත්මක් නෑ. අපේ පැරණිතම වාමාංශික දේශපාලන පක්ෂවලට වුණේ එයයි. අපි එවැනි තැනක නැහැ. එ.ජා.පයත් එවැනි තැනක නැතිව ඇති. රටේ යහපත වෙනුවෙන් ඒ දේ දෙපාර්ශ්වයටම තිබෙනවා.” යනුවෙන් වැඩි දුරටත් පැවසීය