සියලු දෙනා එකතු වී චෞර වළල්ලෙන් රට මුදවා ගත යුතුයි – අනුර ඉතාලියේදී කියයි

සියලු දෙනා එකතු වී චෞර වළල්ලෙන් රට මුදවා ගත යුතුයි – අනුර ඉතාලියේදී කියයි

රට දුප්පත් වුණාට පාලකයන් පොහොසත් වී ගිණුම් උතුරා යන බවත් සෞඛ්‍යයට, අධ්‍යාපනයට, කර්මාන්තශාලා ඇති කිරීමට සහ රැකියා ඇති කිරීමට යෙදවිය හැකි ධනය ඉතා කුඩා කණ්ඩායමක් කොල්ලකා ඇති බවත් මේ කණ්ඩායමේ ඉහළින්ම දේශපාලනඥයන් ඉන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඉතාලියේ නාපොලි හී ශ්‍රී ලාංකිකයන් සමඟ පැවති හමුවකදී.

එහිදී අනුර කුමාර දිසානායක වැඩි දුරටත් දැක්වූ අදහස්,

“රටක ආරක්ෂාව රඳා පවතින්නේ ඒ රට කොතරම් ආර්ථික අතින් ශක්තිමත්ද කියන සාධකය මත. ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක ආරක්ෂාව, අභිමානය, රඳා පවතින්නේ නැහැ. බංගලාදේශයේ අගමැතිනිය කියන්නේ ලංකාව වැටුණු තැනට බංගලාදේශය වැටෙන්න දෙන්නේ නැහැ කියලා. කෙන්යාවේ පාර්ලිමේන්තුවේ කියන්නේ ලංකාව ණය අරගෙන සිදුවූ විපත කෙන්යාවට සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා. රටක් බංකොලොත් වීම පිළිබඳව ජාත්‍යන්තර නිදර්ශනවලට ගන්නේ ලංකාව. අපිට අභිමානයක් ලෝකය හමුවේ නැහැ. අද සිදුවී තිබෙන්නේ එළඹෙන වසරේ ණය වාරික සහ පොලී ගෙවන්නවත් ආදායමක් භාණ්ඩාගාරයට නොලැබීමයි. ආණ්ඩුවේ ආදායම ට්‍රිලියන 03ක් වෙනකොට ණය වාරිකය සහ පොලිය ගෙවන්න ටි්‍රලියන 4.2ක් වියදම් වෙනවා. වසරකට ණය පොලී සහ වාරික ගෙවන්න තරම්වත් ආදායමක් නැති තත්වයට මේ රට දීර්ඝ කාලයක් පාලනය කළ පාලකයන් විසින් ඇදදමා තිබෙනවා. ලංකා ඉතිහාසයේ ආර්ථිකය ගැන ලියනකොට 2022 අප්‍රේල් 12 වැනිදා නිල වශයෙන් බුන්වත් භාවයට පත්වුණු බව ප්‍රකාශ කළ කළු දිනයක් බවට පත්වෙනවා.

ලෝකයේ ගොඩක් රටවලට තිබෙන සම්පත්වලට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් අපට තිබියෙදී මේ තත්වයට ඇදදමනු ලැබ තිබෙනවා. මේ සම්පත්වලින් ප්‍රයෝජන ගත හැකි ජනතාවක් රටේ ඉන්නවා. මෙගාවොට් විසිදාහක් සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාවක් මන්නාරමේ තිබෙනවා. ජල විදුලි ඒකකයක් නිෂ්පාදනයට වැය වෙන්නේ රුපියල් 1.38යි. මේ සෑම දෙයක්ම තිබිලත් ණය ගෙවාගන්න බැරි රටක් බවට පත්කර තිබෙනවා. භාණ්ඩාගාරයට රුපියල් වගේම රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපයා ගන්න බැරිවී තිබෙනවා. ගැබිණි මව්වරුන් සහ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙලෙනවා. කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටී ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම බිඳවැටී තිබෙනවා.

ඇඟලුම් කර්මාන්තය විශාල වශයෙන් බිඳවැටෙමින් තිබෙනවා. රට හැරයන පිරිස වේගයෙන් වැඩිවෙනවා. වෛද්‍යවරුන්, පරිගණක ඉංජිනේරුවන්, බැංකුවල ඉහළ කළමනාකරුවන්, සහ සියලු වෘත්තිකයන් රට හැර යනවා. මේ තත්වය ඇතිවුණේ ස්වභාවික ව්‍යසනයක් නිසා නොවෙයි. මේ තත්වය අපේ රටේ පාලකයන් විසින් රටට ඇතිකරන ලද තත්වයක්. ඕමාන් රටේදී අපේ සොහොයුරියන්, දියණියන්, ගණිකා වෘත්තියට වෙන්දේසියේ විකුණන තත්වයට වහල් වෙන්දේසිය වගේ ඇදදමා තිබෙනවා. ඩුබායි රටේ සංචාරක වීසා මත ගිය හතළිස් දාහක් දෙනා හවුහරණක් නැතිව සිටිනවා. මේ තත්වය ඉදිරියට ගලාගෙන යන්න දෙනවාද? නැත්නම් වෙනස් කරනවාද? අපි මිනිස්සු නම් මේ විදිහට තව අඟලක්වත් ඉස්සරහාට යන්න නොදිය යුතුයි.

රට දුප්පත් වුණාට පාලකයන් පොහොසත් වී ගිණුම් උතුරා යනවා. සෞඛ්‍යයට, අධ්‍යාපනයට, කර්මාන්තශාලා ඇති කිරීමට සහ රැකියා ඇති කිරීමට යෙදවිය හැකි ධනය ඉතා කුඩා කණ්ඩායමක් කොල්ලකා තිබෙනවා. මේ කණ්ඩායමේ ඉහළින්ම දේශපාලනඥයන් ඉන්නවා. ඩීල් දාන ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින කණ්ඩායමක් ඉන්නවා. මාධ්‍ය හිමිකාරයන් පිරිසකුත් ඉන්නවා. ඡන්දවලදී නාගයින් මවන්නේ ඔවුන්. පොලීසියේ අසූඅටදාහකින් පනහක් වගේ ඉහළ පිරිසක් වගේම 2500ක් පමණ ඉන්න පරිපාලන සේවයේ ඉතා කුඩා පිරිසක් නීතිය පසිඳලන තැනත් ඉතා කුඩා පිරිසක් දූෂිත වළල්ලේ ඉන්නනවා. මේ කුඩා වළල්ල පළවා හැර ජනතාව වෙනුවෙන් ආණ්ඩුවක් පිහිටුවන්න අපි ක්‍රියා කළ යුතුයි. කෝවිඩ් වසංගතය අවස්ථාවේ අපේ රටට ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් කොල්ලකන්න පුළුවන් චෞර වළල්ලක් ඉන්නේ. අපේ රට දීර්ඝ කාලයක් පාලනය කළේ ඔවුන්. අපි සියලු දෙනා එකතු වී මේ චෞර වළල්ලෙන් රට මුදවා ගත යුතුයි. දෙපිරිසක් විදිහට බෙදී සිටින මේ පක්ෂ දෙකක් නැහැ. ඔවුන් එක පෙරමුණක්. පසුගිය ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායික නොවෙන දේශපාලකයෙක් යුද්ධය නිම කිරීමට දායක වුණු අයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවෙන් ඡන්දය දෙන්න ඉතාලියේ සිට ගිය පිරිසකුත් ඉන්නවා. සෑමදෙනෙක්ම බලාපොරොත්තු වුණේ රට ගොඩගැනීම වෙත සුබවාදී ආකල්පයන්.

රටේ සියලු සම්පත් විකුණා දමමින් අතීතයේ ක්‍රියාකළා වගේම අයවැය මගිනුත් තවදුරටත් විකුණන්න යෝජනා කරනවා.විශාල ලාභයක් ඉපයූ ලභයක් ඉපයූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සහ ඒ යටතේ තිබෙන ලිට්රෝ ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල්ස් සමාගම එකටම විකුණන්න ලෑස්ති වෙනවා. ගිය අවුරුද්දේ මිලියන 13,844ක් ලාභ ලැබූ ටෙලිකොම් සමාගම විකුණන්න ලෑස්ති වෙනවා. බලාගාර ටික විකුණන්න සූදානම් වෙනවා. මේ බලාගාර ටික ගන්න මිනිහා පළවෙනි මොහොතේ සිට ලාභ ලබනවා. මේ විකිණීමේ ආර්ථික, දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනෑ. විහාරමහාදේවී, දුටුගැමුණු, රට රැක්ක විරුවා, වගේ නම්වලින් පෙනී සිටි අයට රැවටුණු කාලය අවසන් කළ යුතුයි. ජනතාව පළවා හැරි රනිල් වික්‍රමසිංහ, සියල්ල දන්නා ලෙස පෙනී සිටින සජිත් වගේ අයට තවදුරටත් ජනතාව රැවටිය නොහැකියි. නීතිඥ සංවිධාන, අපේ ආරක්ෂක සංවිධාන, ලංකාවේ ඇත්ත ව්‍යවසායකයින් හඳුන්වාදීම් ජනවාරි මාසයේදී සිදුකරනවා. රටට සිදුවී තිබෙන විනාශය පිළිබඳ අවබෝධයකින් යුතු පිරිස එකතු වී රට ගොඩනැගීමට පෙළගැස්වීමයි දේශපාලනය කියනේනේ. ජාතික ජන බලවේගය රටට සිදුවී තිබෙන විනාශය ගැන ඒ විනාශයේ දිග පළල ගැන එයින් ගොඩඒමේ මාවත ගැන ජනතාව සමග සංවාදයේ යෙදෙනවා. මේ කාර්යයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.

ඉතාලියේ ජීවත්වන ඔබ ජාතික ජන බලවේගයේ කොඩිය ඉහළින් එසෙව්වොත් එය ඔබේ ගමට ගෙනයන ලොකුම පණිවිඩය වෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ රැල්ල නිර්මාණය කළේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්. මේ නාපොලි නගරයේ ඒකරාශී වී සිටින පිරිස දකිනකොට සුළං හමන දිසාව ගැන අවබෝධ කර ගන්න පුළුවන්. රට වෙනස්කිරීම අරමුණු කරගෙන දීර්ඝ කාලයක් විවිධ පක්ෂවලට ඡන්දය දීලා ඇති. නමුත් කිසි වෙනසක් වෙලා නැහැ. නමුත් අපි අංශ කිහිපයකින් වෙනස් කිරීම පටන් ගන්නවා. විධායක ජනාධිපති ධුරය වෙනුවට පාර්ලිමේන්තුවට බලය පැවරෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. හැත්තෑ අටේ සිට අවුරුදු 44ක් තිබුණු විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේදී ඔප්පු කර තිබෙන්නේ ව්‍යයසනයන් පිළිබඳවයි. ඒ වගේම පිල් පනින දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ වගන්ති ව්‍යවස්ථාවට ගේනවා. පනින අයගේ මන්ත්‍රී ධුර අහෝසි කර, ඇමති මණ්ඩලය ව්‍යවස්ථාවෙන්ම සීමා කරනවා. දෙවනුව වංචා දූෂණ නතර කිරීම වෙනුවෙන් දඬුවම් කිරීමත්, හොරා කාපු දේපොළ නැවත පවරා ගැනීමත් සිදුකරනවා. අපේ රටේ ජනතාව දුක්වේදනා විඳින්නේ පාලකයන් මහජන මුදල් කොල්ලකෑ නිසයි. මිනිස්සු කියන්නේ සල්ලි නෙවෙයි. මිනිසුන්ට අධ්‍යාත්මික ජීවිතයක් තිබෙනවා. මැදපෙරදිග රටවලට යන අම්මලාගේ ප්‍රාර්ථනාවලට මොකක්ද වී තිබෙන්නේ? මේ තත්වය අවසන් කිරීමට හොරකම් කළ මහජනතාවගේ දේපළ නැවත පවරා ගන්නවා. වංචා – දූෂණ සම්පූර්ණයෙන්ම නතර කරනවා” යනුවෙන් පැවසීය