ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි

ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟිම සඳහා ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේ පැවති “2022 ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල” අමතමිනුයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“අපේ රටේ බිද වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේදී කර්මාන්තකරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා. කර්මාන්තකරුවන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන පිරිසක්. රටක් ලෙස අපට මෙම තත්ත්වයෙන් ගොඩ ආ හැකි බව මම කියන්න කැමතියි. මේ අවස්ථාවේ කර්මාන්තකරුවන්ට බදු සහන ලබාදීමට හැකියාවක් නැහැ. නමුත් ‍අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තවදුරටත් දියුණු කළ හැකියි. ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගත හැකියි. ලෝකයේ වෙනත් රටවල කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු වූ ආකාරය දෙස බලා ඔවුන් භාවිතා කර ඇති එම නවීන තාක්ෂණය අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල දියුණුවට යොදා ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා රජයක් ලෙස ලබාදිය හැකි සියලු සහාය ලබාදීමට අපි සූදානම්.

පැරණි ක්‍රමවේද අනුගමනය කරමින් සිටිනවා ද, එසේ නොමැති නම් අලුත් විදියට සිතා නව වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින්, රට ජාත්‍යන්තරයේ ඉහළට ඔසවා තබනවා ද යන්න ඔබ තීරණය කළ යුතුයි. මේ සඳහා ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා.

ඒ වගේම බිඳ වැටුණු ආර්ථිකය දෙස බලමින් පසු තැවෙනවාද, සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කරනවාද යන්න අප සිතිය යුතුයි. දෙවන ලෝක යුද්ධය නිසා බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය ආර්ථික වශයෙන් නැවත ශක්තිමත් වෙලා ජාත්‍යන්තරය ජය ගත් හැටි ඔබ සිතා බලන්න. එසේ නම් අපටත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟිය හැකියි. ඒ සඳහා අප ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි.

අද අපේ රටට විදේශ විනිමය අවශ්‍ය වෙනවා. විදේශ විනිමය ඉහළ නංවා ගැනීමත් සමඟ අපගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එවිට අපිට පුළුවන් අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවලට වැඩි මුදලක් වෙන් කරන්න.

එමගින් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දීමට අපිට හැකියාව ලැබෙනවා.” යනුවෙන්