මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිංගප්පූරුවේ දඬුවම් දෙන්න ඕනේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිංගප්පූරුවේ දඬුවම් දෙන්න ඕනේ

පාසල් දරු දැරියන් මත් උවදුරින් බේරා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ගෙනෙන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කරන දරුණු දඩුවම් ලබා දිය යුතු යැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ඔවුන්ට මරණ දඩුවම නියම කිරීම සුදුසු බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පරීක්ෂා කිරීම් සිදුකළත්, එම උත්සාහය සාර්ථක කරගැනීමට නම් පාසල කරා මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධාන මාර්ග අවහිර කළ යුතු බව ද අමාත්‍යවරිය කීවාය.

ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ මුල්විය සංවර්ධනය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පෙරපාසල් පාලිකාවන් හා නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර මෙරට සියලු ම ළමා නිවාස නියාමනය කරන බවත් අමාත්‍යවරිය පැවසුවාය.

ළමා නිවාසවල රඳවා ඇති දරුවන් වධහිංසාවට හා අතවරයට ලක්වන සිද්ධි රැසක් මෑතකදී වාර්තා වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරිය, එවැනි හිංසා වළක්වා ගැනීම සඳහා දැඩි නීති පනවා මෙම නියාමනය සිදු කරන බව වැඩි දුරටත් ප්‍රකාශ කළා ය.