නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක වැඩ නවත්වයි

නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක වැඩ නවත්වයි

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ඊයේ (22) රාත්‍රියේ සිට අක්‍රීය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ නඩත්තු කටයුත්තක් සඳහා මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කළ බවයි.

මෙය ගල් අඟුරු තොග කළමනාකරණය කිරීම සඳහා ගත් තීරණයක් බවයි වාර්තාවන්නේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක් එක් කරනවා.

එය මෙරට දෛනික විදුලි සැපයුමෙන් 45% ක පමණ ප්‍රතිශතයක්.

කෙසේ වෙතත්, මෙම ජනන යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ ජාතික පද්ධතියට අහිමි වන ධාරිතාවය මෙගාවොට් 270 ක්.

එම අහිමි වන ධාරිතාවය ජල විදුලි බලාගාරවලින් සහ කැලණිතිස්ස බලාගාරයෙන් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 165 ක් ලබා ගැනීමට නියමිත අතර, සෙසු ධාරිතාව ජල විදුලියෙන් ලබාගනු ඇති.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ අද දිනයේ සැලසුම් කළ දෛනික විදුලි කප්පාදු කාලයේ වෙනසක් සිදු නොවන බවයි.

මේ අතර, හෙට සහ නත්තල් දිනය මෙන්ම 26 වනදා විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. එමෙන්ම දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වනදා විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළේ.