සාමයේ කුමරුන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල උදාවෙයි

සාමයේ කුමරුන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල උදාවෙයි

ශ්‍රී ලංකාවට අසිරිමත් නත්තල දැන් උදා වුණා.

සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය ලොව පුරා කිතුණු බැති මතුන් මහත් හර සරින් අද (25) සමරනවා.

දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලය ම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික අප ද අද මේ දිනය සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටුවයි.

සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමේ සුබ මොහොත සහ කාලීන අවස්ථාව උදාවී ඇතැ යි අද රටපුරා සෑම දෙව් මැදුරක ම ගැයෙන බැතිගීවල නාදය වනු ඇත. ලක්වාසි කිතුණු ජනතාව ද අද දෙවස්ථනවල ආගමික වැඩසටහන් පවත්වනු ඇත.

මිට සුළු මොහොතකට පෙර නත්තල් දේව මෙහෙයන් ආරම්භ කළා.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මධ්‍යම රාත්‍රී දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානයේදී පැවැත්වෙනවා.

එමෙන්ම ජේසු බිළිඳා සිහිපත් කරමින් විවිධ ප්‍රදේශවල ගවලෙන් සකසා ඇති අතර, කැරොල් ගී ප්‍රසංගද සංවිධාන කර තිබෙනවා.

නත්තල දා උපන් සාම කුමරුවාගේ දිවිය සාමය සංහිඳියාව සාධාරණත්වය හා මානව හිතසුව පිණිස ම කැප කරමින් වංචාව, දූෂණය සහ බලකාමයට එරෙහි අභීතව නැගී සිටිමින් ඒ නිසා ම කුරුසයේ මරණයට පත්ව තෙදිනකින් උත්ථානය ලබා සකල මානව වර්ගයා වෙත විමුක්තිය ලබා දී ඇත.

දිනෙන් දින අපට ඇසෙන්නට ලැබෙන්නේ මානව ගරුත්වය කෙලෙසන සිදුවීම් ගැන යි. ඒවා හෙළා දැමිය යුතු යි. කිතු සමිදාණන් පිටු දැකි වදාළ “ඇසට ඇස – දතට දත” යන පැරණි ගිවිසුමේ න්‍යාය අනුව යමින් මානව ගරුත්වය කෙළෙසන සිදුවීම් සාධාරණීකරණය කළ හැකි නොවෙ යි.

නත්තලේ පණිවුඩය මිහිමත සුසිල් ජනතාවට සාමය උදාවේවා යන්න යි. එහිදී තුන්වන සහස්‍රය අවසානයේදී නත්තලේ අභියෝගය විය යුත්තේ, දිනෙන් දින උග්‍රවන ප්‍රශ්නවලට විසඳුම පළිගැනීම නොවෙ යි.

මෙදා නත්තල සාමය, සාධාරණත්වය හා සංහිඳියාව අපේක්ෂාවෙන් සිටින සැමට අභියෝගයක්. අවිබලය, රජ බලය යොදාගෙන මිනිසුන් බිය වද්දා ඝාතනය කරන දේශපාලන සහ සමාජ සංස්කෘතිය තුළ ලෝකය ම දේශය ම ගිනිගෙන දැවෙනවා. එහෙත් අපේ අරමුණ විය යුත්තේ සාමය නම්, සංහිඳියාව නම් සුරදූත ගීතයට සවන් යොමුකර නත්තල සැමරීම යි.

උදා වූ නත්තල ලක් වැසි ලෝ වැසි කිතුණු සැමට සාමය සතුට පිරුණු සුබ නත්තලක් වේවා “My newslanka” අපි පාර්ථනා කරනවා.