විදුලි බිල සියයට 60 – 65කින් ඉහළ යනවා – ලංවිම සාමාන්‍යාධිකාරී

විදුලි ගාස්තු 60%ත් 65%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ලංකා විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න ඊයේ (27) කොළඹදී පැවසීය.
ඒ අනුව මාස 5ක පමණ කාලයක් ඇතුළත මෙරට විදුලි ගාස්තුව සියයට 140කින් පමණ වැඩිවනු ඇත. ඉකුත් අගෝස්තු 9 වැනිදා විදුලි ගාස්තු වැඩි කළේ සියයට 75කිනි.
සමෘද්ධි සහ අඩු ආදායම් ලබන ජනතාව ඉලක්ක කරගෙන මහා භාණ්ඩාගාරය හරහා සහන ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමට නියමිත බවද ඒ රොහාන් සෙනෙවිරත්න කීය.
මෙහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ලංවිම සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ සියයට 65කින් විදුලි ගාස්තුව යළි වැඩි කළ පසු ලබන වසරේ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි බලය ලබාදීමට හැකිවනු ඇති බවයි. ඒ අනුව විදුලි ඒකකයක ගැනුම් හා විකුණුම් මිල 29.14 සිට 48.42 දක්වා වෙනස් වන බවද ඒ මහතා සඳහන් කළේය.
පූජනීය ස්ථානවලද විදුලි ගාස්තුව මීට සමගාමීව වැඩිවන බවත් ඒ පිළිබඳව තවමත් සාකච්ඡා සිදුවන බවත් සෙනෙවිරත්න සඳහන් කළේය.
දැනට මසකට රුපියල් 1000-2000ත් අතර බිල්පත් ලැබෙන විදුලි පාරිභෝගිකයින්ගේ බිල්පත කොපමණ ප්‍රමාණයකින් වැඩිවනු ඇතිදැයි මෙහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ලංවිම සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ ඒකක 30, ඒකක 30-60 ඊට වැඩි විදුලි කාණ්ඩවලට අනුව ඒ ඒ ගණන් වෙනස් වන බවයි.

