යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියාවෙන් මිසයිල වරු සාවක්

යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියාවෙන් මිසයිල වරු සාවක්

යුක්‍රේනයට සපයන ආයුධ සහාය වැඩි කරන ලෙස නේටෝ ප්‍රධානියා සිය බටහිර රට වලින් සහාය ඉල්ලා පැය කිහිපයකට පසු යුක්‍රේනයේ කියෙව් අගනුවර දැඩි රුසියානු මිසයිල ප්‍රහාරයන්ට ගොදුරු වී තිබෙනවා.

රුසියානු ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් සිදු කළ මෙම බෝම්බ ප්‍රහාර හේතුවෙන් නගරයේ සහන සේවා කටයුතු පවා බිඳ වැටී ඇති බව යි කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂෙන්කෝ (Vitali Klitschko) කියා සිටියේ.

රුසියාව දිගින් දිගට ම සිය බෝම්බ ප්‍රහාර දැඩි කරන බැවින්, යුක්රේනයට අඛණ්ඩ ව අවි ආයුධ සහාය ලබා දීම සඳහා ආයුධ නිෂ්පාදනය වැඩි කරන ලෙස ඉල්ලමින් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ඉරිදා කියා සිටියේ, බටහිර ජාතීන් යුක්‍රේනයට දිගුකාලීන සහාය ලබා දීමට සූදානම් විය යුතු බව යි.

නේටෝ ප්‍රධානීයා වැඩිදුරටත් පැවසුවේ, ස්වෛරී රටක් ලෙස යුක්‍රේනයේ පැවැත්ම ඒ හරහා සහතික වනු ඇති බවට යි.

අද (02) අලුයම කියෙව් හි ඩස්නියාන්ස්කි (Desnianskiy) ප්‍රදේශය ඉලක්ක කරගනිමින් සිදු කළ මෙම ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් 19 හැවිරිදි තරුණයෙකු, තුවාල ලබා රෝහල්ගත කර ඇති බව කියෙව් නගරාධිපතිවරයා පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණා.

එම ප්‍රහාරය නගරයේ ඓතිහාසික ගොඩනැඟිල්ලකට එල්ල වී තිබුණු අතර, අදාළ තරුණයා තුවාල ලබා ඇත්තේ එම සුන්බුන් ඔහුගේ සිරුර මතට වැටීමෙන්.

අද දින අලුයම් කාලයේ දී කියෙව් නගරයේ ස්ථාන ගණනාවක ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීම් දැක්වෙන සයිරන් නලා හඬ දිගින් දිගට ම ඇසුණු අතර, මෙම ප්‍රහාර හේතුවෙන් කියෙව්හි ඩෙස්නියන්ස්කි දිස්ත්‍රික්කයේ පිපිරීමක් සිදු වූ බව නගරාධිපති විටාලි ක්ලිට්ෂෙන්කෝ (Vitali Klitschko) සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණා.

https://bbc.in/3jMqKXv