දැන් ආසියාවේ ලොකුම මොළේ, තව කාලෙකින් බස් ඩ්‍රයිවර් – අනුර කුමාර

දැන් ආසියාවේ ලොකුම මොළේ, තව කාලෙකින් බස් ඩ්‍රයිවර් – අනුර කුමාර

දශක ගණනක් විවිධ දේශපාලකයන් විසින් රටේ ජනතාව ඇන්ද වූ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ කලාවැව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්,

එහිදී අනුර කුමාර දිසානායක වැඩි දුරටත් දැක්වූ අදහස්,

දශක ගණනක් මොන පන්නයේ ආණ්ඩු හැදුවත්, දශක ගණනක් මොන පන්නයේ නායකයන් හැදුවත් අපි මොකක්ද කරලා තියෙන්නේ? උඩ ඉතා සීමිත ප්‍රභූ කණ්ඩායමකින් මේ රටේ දේශපාලන නායකත්වය තෝරගෙන තිබෙනවා. එක එක වර්ගයේ වේශ නිරූපනයෙන් ආවා.

සාටක දාගෙන එන්න පුළුවන්, ජාතික ඇඳුම් ඇඳගෙන එන්න පුළුවන්, ටයි කෝට් දාගෙන එන්න පුළුවන්, ඔය මොන වේශයෙන් ආවත්, අවුරුදු 74ක් ගමන් කරමින් තිබුණ විනාශකාරී මාවතේ ඒකත් තිබුණා. මොන වේශයෙන්ද ආවේ නැත්තේ ? විවිධ වේශයෙන් ආවා.

80 අග භාගයේදී දුප්පතාගේ හිතවතා කියලා වේශයක් මවා ගෙන ආවා, 94දී ආවා විහාරමහා දේවිය ලෙස, 2005 දී ආවා දුටුගැමුණු ලෙස, 2015 දී ආවා පොළොන්නරුවේ ගොවියා ලෙස, ඊට පස්සේ ආවා වැඩ කරන විරුවා අලුත් වේශයකින් විරුවා පට්ටම් ගහලා ගෙදර ගියා.

දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ආසියාවේ ලොකුම මොළේ ඇවිල්ලා තියෙනවා කියලා, විවිධ ආකාරයෙන් විවිධ වේශ නිරූපනවලින් එනවා, තව කලකින් බස් ඩ්‍රයිවර් ලෙස එන්න පුළුවන්, හැබැයි කවර වේශයකින් ආවත් දශක ගණනාවක් මේ එකම මාවතක ගමන් කරන කණ්ඩායමක් ආවේ. එකම ආර්ථික ප්‍රතිපත්ති, එකම දේශපාලන සංස්කෘතිය, එකම ආකාරයේ හොරකම, එකම ආකාරයේ නාස්තිය, එකම ආකාරයේ රට විනාශ කිරීම, යනුවෙන් පැවසීය.