“අත” අතහැර ආණ්ඩුවට ගිය අය චන්ද්‍රිකා හමුවෙයි

“අත” අතහැර ආණ්ඩුවට ගිය අය චන්ද්‍රිකා හමුවෙයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එක්වූ කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ දී ඊයේ (8) පවත්වා ඇති බව වාර්තා වෙනවා.

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස දී ඊයේ (08) පැවති දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකයන්ගේ 124 වන ජන්ම දින සැමරුමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරියගේ ටොරින්ටන්හි පිහිටි නිවසේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වන්නේ.

ඊට අමාත්‍ය ධූර බාරගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක මෙන්ම නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද එක්ව තිබෙනවා.

පැය එකහමාරක කාලයක් පැවති මෙම සාකච්ඡාවේ දී පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ජනතා නිදහස් සන්ධානය නමින් පහන ලකුණින් ඉදිරිපත් වන බව පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ ඊයේ (08) පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේ දීයි.