දේශබන්දුට සිතාසි නිකුත් කරනවා ද? නැද්ද? තීන්දුව ලබන 26

දේශබන්දුට සිතාසි නිකුත් කරනවා ද? නැද්ද? තීන්දුව ලබන 26

පසුගිය වසරේ ජූලි 09 වනදා අරගල කරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය වැටලීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ කාමරයේ තිබී හමු වූ රුපියල් මිලියන 17.7ක මුදල සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි නිකුත් කරන්නේ ද යන්න පිළිබඳව නියෝගය නිකුත් කිරීම ලබන 26 වන දා තෙක් කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (13) නියෝග කළා.

අරගලකරුවන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැඳී සිටි කාමරයේ සිදුකළ පරීක්ෂාවක දී අදාළ මුදල සොයා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව කොටුව පොලිසියට දැනුම් දීමක් සිදුකර තිබුණා.

එහිදී එම මුදල් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා පොලිසිය භාර ඇමැති ටිරාන් අලස් ට ලබා දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සාපරාධී විශ්වාසය කඩවීමට අනුබල දීම සිදු කර ඇතැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය ඉදිරියේ දීර්ඝ නිතිමය කරුණු දැක්වීමක් සිදු කරමින් පවසා සිටියා.

ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥවරයා සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා.