විදුලි බිල වැඩි කරන්න බෑ – PUCSL

විදුලි බිල වැඩි කරන්න බෑ – PUCSL

අතීතයට බලපාන පරිදි සහ අන්තර්කාලීනව විදුලි ගාස්තු ඉහළ දැමිය නොහැකි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

කැබිනට් මණ්ඩල යෝජනාවට අනුව ජනවාරි 1 වැනිදා සිට විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදයක් නීතියේ නොමැති බව කී රත්නායක මහතා ඛනිජ තෙල් සංස්ථාවෙන් සත්‍ය පිරිවැයට විදුලිබල මණ්ඩලයට ඉන්ධන සපයාදීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බව ද සඳහන් කළේය.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් ගෙවීමකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලයට නැප්තා ලබානොදීමට තීරණය කිරීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ පැවති නැප්තා ප්‍රමාණය ඊයේ (13) උදෑසන අවසන්වීමට තිබුණි.

කෙසේ වෙතත් ඊයේ දිනට පමණක් අවශ්‍ය නැප්තා ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

එසේ අවදානම පහව ගියත් අද (14) උදෑසන වන විට කැලණිතිස්ස විදුලි බලාගාරය අක්‍රියවීමේ අවදානමක් පවතී.

යම් හෙයකින් එලෙස කැලණිතිස්ස විදුලි බලාගාරය අක්‍රිය වුවහොත් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන මෙගාවොට් ගණන 165ක් බව වාර්තා වේ.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සඳහන් කළේ නැප්තා මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට අවශ්‍ය මූල්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවය.

මෙවැනි පසුබිමක විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.