ප්‍රබලයෙක් ශ්‍රීලනිපයෙන් ගැලවෙයි

ප්‍රබලයෙක් ශ්‍රීලනිපයෙන් ගැලවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා පක්ෂයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත්ව තිබෙනවා.

ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදී ඇත්තේ නිදහස් පක්ෂයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාව අතරතුරයි.

මෑත කාලයේදී පක්ෂ නායකත්වය විසින් එහි ප්‍රගමනයට හේතුවන කිසිදු දේශපාලන තීන්දුවක් අත්‍යවශ්‍ය අවස්ථාවලදී නොගත් බවයි ෆයිසර් මුස්තාෆා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකළ ලිපියේ දැක්වෙන්නේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දු අත්තනෝමතික ලෙස වෙනස් කිරීමත්, ස්ථීරසාර සහ ස්ථාවර ප්‍රතිපත්ති මත පිහිටා පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාවේ නොයෙදීමත් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාධරයෙකු ලෙස තමාට තවදුරටත් තනතුරු දැරීමට නොහැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා.

දේශපාලන ව්‍යාපාරයට කාලය මිඩංගු කරනවාට වඩා නීතිඥවරයෙකු ලෙස තමාගේ වෘත්තීය කටයුතුවලට කාලය කැප කිරීම ඵලදායි බව වැටහී ඇති බවයි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.