උසස් පෙළ විභාගයට සියල්ල සූදානම්

උසස් පෙළ විභාගයට සියල්ල සූදානම්

තවත් දින හතරකින් පසුව එනම්, එළඹෙන 23 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කිසියම් අපේක්ෂකයෙකුට වලංගු හැඳුනුම්පත් හෝ ප්‍රවේශ පත්‍රයක් නොමැති වුව ද විභාගයට පෙනී සිටිය හැකි බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා කියා සිටියේ විභාග ගැටලු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුම්දීමට 1911 ක්ෂණික දුරකථන අංකය මෙන්ම, 0112 784 208, 0112 784 537, 0112 785 211 සහ 0112 786 616 යන අංක පැය 24 පුරා විවෘත බවයි.

මේ අතර, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත්, හැකි ඉක්මණින් එම විභාගයේ ප්‍රතිඵළ නිකුත් කිරීමට කටයුතු කරන බවත්, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.