ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කරුණු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරයේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කරුණු කිහිපයක් පහතින් දැක්වේ.
1.දිළිඳු ප්‍රජාව හඳුනා ගනිමින් සහනාධාර බැංකු ගිණුමක් හරහා ඔවුන්ට ඍජුව ම මුදලින් ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා.
- 2023 අවසානයේදී ධන ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා.
- අස්වනු මිල දී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
- රුපියල් බිලියන 20ක් වටිනා වී අස්වනු සහල් බවට පත් කොට, අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව හැම පවුලකට ම මසකට සහල් කිලෝ 10 බැගින් අවස්ථා දෙකකදී නොමිලේ ලබා දෙනවා.
- දූෂණය මැඩලීමේ පනතක් ගෙන එමින් ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව ‘සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්රයත්නය’ මෙම පනතට ඇතුළත් කරන්න පියවර ගන්නවා.
- කිසිදු ඵලදායී කාර්යයකට යොදා නොගන්නා රාජ්‍ය අංශයේ ඉඩම් සහ ගොඩනැගිලි ඵලදායී කාර්යයන්ට යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
- එමෙන් ම රාජ්‍ය ආයතන සතු කැළෑවට ගිය සරු ඉඩම් සහ වගා නොකරන කුඹුරු අක්කර සියල්ල ඵලදායී ලෙස කෘෂිකර්ම කටයුතු සඳහා යෙදවීමට කටයුතු කරනවා.
- ආර්ථිකයේ වර්ධනය සමග දුෂ්කරතා හේතුවෙන් බිඳ වැටුණු ව්‍යාපාර යළි නගා සිටුවීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නට පියවර ගන්නවා.
- නිෂ්පාදනය ඉහළ නැංවීම, භාණ්ඩ හා සේවා සැපයීම, කර්මාන්ත හා කෘෂි නවීකරණය ආදිය සඳහා උපරිම වශයෙන් තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂා කරනවා.
- වර්තමානයේ රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.15ක්. මෙය සියයට 15 දක්වා ඉහළ නංවා ගැනීම අපේ බලාපොරොත්තුව යි.
- ජනවාර්ගික ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
- උතුරු – නැගෙනහිර ගැටුම නිසා හානි වුණු ප්‍රදේශවල සංවර්ධනය ගැන වැඩි බරක් තබා කටයුතු කිරීමට පියවර ගන්නවා. ඒ ප්‍රදේශ වෙනුවෙන් විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනවා.
- රජයට පවරා ගෙන ඇති ආරක්ෂක ඉඩම් සම්බන්ධයෙන් ද සාකච්ඡා ආරම්භ කර තියෙනවා.
- වරින් වර නිකුත් කළ රෙගුලාසි මගින් වනාන්තර ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම නිසා තම තමන්ට හිමි ඉඩම් කට්ටි ගණනාවක් වනාන්තර ලෙස ගැසට් කර ඇති බැවින් 1985 වනවිට පැවැති සිතියම් අනුව වනාන්තර සහ ඉඩම් යළි ගැසට් කිරීමට පියවර ගන්නවා.
- අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදය වඩා ත් විධිමත් හා කඩිනම් කරමින් එම යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරනවා.
- ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිරගත කර සිටින පුද්ගලයන් සහනදායී පිළිවෙතකට, ක්‍රමානුකූලව ඔවුන් නිදහස් කිරීමට පියවර ගන්නවා.
- ජාතික ඉඩම් සභාවක් ස්ථාපනය කිරීමේ කෙටුම්පත සකස් කරමින් ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙටුම්පත් කරනවා.
- අධ්‍යාපන ක්ෂේත්රයේ පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව අණපනත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් ද මේ අයුරින් ම ක්‍රියා කරනවා.
- 1992 අංක 38 දරන බලය පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරුන්) පනත, 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන) පනත සහ 1990 අංක 28 දරන පළාත් සභා (සංශෝධන) පනත යන පනත් බලය පැවරීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කරලීම උදෙසා සංශෝධන කෙටුම්පත් සකස් කරනවා.
- පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර සම්බන්ධීකරණ කාර්යයන් විධිමත් කිරීම සඳහා නවීන ක්රමයේ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමවේදයක් ස්ථාපනය කරන්න අපේක්ෂා කරනවා.
- පළාත් අනුව නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා නිර්ණය කිරීමට බලාපොරොත්තු වෙනවා.
- මානව හිමිකම් උල්ළංඝණය, ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතළ ලෙස කඩකිරීම් ආදී කරුණු පිළිබඳව සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශයන් ගැන ද අපේ අවධානය යොමු වෙනවා.
- ගැටුම්වලින් වඩාත් හානි සිදු වූ උතුර සංවර්ධනය සඳහා වෙනමම සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.
- මල්වතුඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරනවා.
- නැගෙනහිර පළාතේ ගංඟා සහ ජල කළමනාකරණය කිරීම, වඩමාරච්චි වැව සහ කලපුව ප්‍රතිසංස්කරණය කිරීම, පානීය සහ කෘෂි කටයුතු සඳහා එමගින් ජලය ලබා දීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
- සූර්ය බලය මෙන්ම, හරිත හයිඩ්රජන් බලය ද යොදා ගනිමින් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඔස්සේ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරනවා.
- සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි වැඩියෙන් අවස්ථා සලසා දෙනවා.
- ආයෝජන කලාප පිහිටුවනවා.
- කෘෂිකර්ම කටයුතු නවීකරණය සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් සලසා දෙනවා.
- කන්කසන්තුරේ වරාය නවීකරණය කරමින් එය පුළුල් කරනවා.
- ත්‍රිකුණාමලය නවීන ජාත්‍යන්තර නගරයක් ලෙස සංවර්ධනය කරනවා.
- ගැටුම්වලට මැදිවී ආර්ථික හා සමාජයීය පසුබෑම්වලට ලක්වූ නැගෙනහිර සහ උතුරු මැද පළාත් වෙනුවෙනුත් නවීන කෘෂිකාර්මික සැලසුමක් දියත් කරනවා.
- වතුකරයේ ජනතාවගේ නීතිමය අයිතීන් සියල්ල ලබා දී තිබුණ ද ආර්ථික හා සමාජයීය අයිතීන් සම්බන්ධයෙන් පවතින ගැටලු ගණනාවක් තවමත් ඉතිරිව තිබෙන බැවින් මේ ගැටලු විසඳීම සඳහා අප වතුකරය නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා සමග සාකච්ඡා කර පියවර ගැනීමට අපේක්ෂා කරනවා.
- විශේෂයෙ මන් කුල භේදය නිසා සමාජයේ කොන් වීමකට ලක් වී සිටින ප්‍රජාව සම්බන්ධයෙන් පූර්ණ සැලකිල්ල යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.
- ජනතා අදහස් නියෝජන කාර්යයන් උදෙසා අප ජන සභා පනත නීතිගත කරනවා.
- පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම මන්ත්‍රීවරු ආණ්ඩු පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කර ගැනීමට පියවර ගන්නවා. ඒ සඳහා පූර්ණ ස්වාධීනත්වය ඇති පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපනය කරනවා.
- එමෙන් ම මන්ත්‍රී ආචාර ධර්ම සහ පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ පනතක් කෙටුම්පත් කරනවා.
- මනාප ක්‍රමය විවිධ දූෂකයන්ට පාර කැපීමක් බව දැන් අප ප්‍රායෝගිකව හඳුනාගෙන තිබෙන බැවින් විකල්ප ඡන්ද ක්රමයක අවශ්‍යතාව මුළු රටට ම තදින් දැනෙනවා. පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමග මේ පිළිබඳ සාකච්ඡා කොට මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කිරීමට ක්‍රියා කරනවා.
- ලාංකේය දේශපාලන පක්ෂ සහ ඒවා ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේදය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම උදෙසා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ක්‍රියා කරනවා.
- ඒ අනුව, පක්ෂ ලියාපදිංචිය, විනිවිදභාවයෙන් ක්‍රියා කිරීම, සාමාජික අයිතිවාසිකම්, අරමුදල් සහ ආදායම් ලබා ගැනීම, මැතිවරණ ව්‍යාපාර සඳහා වියදම් කිරීම, ජනමාධ්‍ය භාවිතය ආදී කරුණු ගැන ගැඹුරින් සොයා බැලීමේ වගකීම මේ කොමිෂන් සභාවට පැවරෙනවා.
- අනාගතය වඩා ත් යහපත් කර ගැනීම උදෙසා නව ආයතන, නව නීති රීති සහ නව ව්‍යාපෘති ගණනාවක් හඳුන්වා දීමට පියවර ගන්නවා.
- ඉතිහාසය පිළිබඳ ආයතනය, ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනය, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආයතනය අලුතින් ස්ථාපනය කරනවා.
- රාජ්‍ය පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සහ ක්‍රීඩා විශ්වවිද්‍යාලය යනුවෙන් නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවනවා.
- අලුත් නීති රීති සහ අණපනත් ගණනාවක් හඳුන්වාදීමටත් අප පියවර ගන්නවා.
(කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභා පනත, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත, ස්ත්‍රී සවිබල ගැන්වීමේ පනත, ළමා ආරක්ෂණ පනත, යොවුන් පාර්ලිමේන්තු පනත, මත්ද්‍රව්‍ය මැඩලීමේ අණදෙන මූලස්ථාන පනත, සත්‍ය සහ සංහිඳියා කොමිසම, ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ ජාතික ආරක්ෂක පනත) - දැනට ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත අහෝසි කරනවා.
- ව්‍යවස්ථාවේ ඇති ප්‍රකාශන අයිතිය පදනම් කර ගනිමින් කලා නිර්මාණ වර්ගීකරණ පනතක් සකස් කරනවා.
- අප මේ අණපනත් හඳුන්වා දීමට පියවර ගන්නවා.
(දේශගුණික විපර්යාස පනත, සමාජ සාධාරණත්ව කොමිෂන් සභා පනත, ප්‍රතිවනරෝපණ සහ වෘක්ෂාවරණ පනත, ජීවමාන පද්ධති පනත – මහවැලි ගග, සිංහරාජය, ශ්‍රී පාද අඩවිය හා වන ශිඛරය, හෝර්ට්න් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම මේ පනත යටතට ගැනෙනවා. සාගර සම්පත් ගවේෂණ සහ කළමනාකරණ නීතිය, මුතුරාජවෙල සංරක්ෂණ පනත) - ආර්ථිකය සම්බන්ධයෙන් ද නව අණපනත් හඳුන්වා දෙන්නට කටයුතු කරමින් යනවා.
- රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා ශූන්‍ය පාදක අයවැය (Zero Budgeting) ක්‍රියාවලියක් ආරම්භ කරනවා.
- මීට අමතර තව ත් අණපනත් කිහිපයක් පහතින් දැක්වේ.
(ආදායම් අධිකාරි පනත, ජාතික ණය කළමනාකරණ පනත, ආහාර සුරක්ෂිතතා පනත, රාජ්‍ය දේපළ කළමනාකරණ පනත, ආර්ථික ස්ථායීකරණ පනත, ජාතික විශ්‍රාම දායකත්ව පනත, නව සුරාබදු පනත, විදේශ විනිමය පනතට සංශෝධන, බුන්වත් පනත, ඩිජිටල් තාක්ෂණ පනත, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තු පනත, අන්‍යොන්‍ය එකඟත්වය මත දික්කසාදවීමේ පනත) - ජනමාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය ආයතනයක සිට විශ්වවිද්‍යාලයක් දක්වා වූ ආයතන පද්ධතියක් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
- ශ්‍රී ලංකාවාසීන්ගේ, විශේෂයෙන් ම තරුණ තරුණියන්ගේ අදහස් අනුව වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
- සමාජ සම්මුතිය ක්‍රියාත්මක කිරීම උදෙසා අප සමාජ සාධාරණ කොමිෂන් සභාව ස්ථාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා.
- ඉදිරි වසර 25 සඳහා අලුත් ප්‍රතිපත්ති රාමුව මේ සමාජ සම්මුතිය පදනම් කර ගනිමින් නිර්මාණය කරනවා.

