පැරිස් සමාජයෙන් IMF ණය ගන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය ඇපකර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හිමිවීමට ඇති ණය මුදල වෙනුවෙන් මූල්‍ය ඇපකර ලබාදීමට ණය දෙන රටවල ප්රමුඛ කණ්ඩායමක් වන පැරිස් සමාජය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මේ වනවිට උද්ගත ව ඇති දැඩි මූල්‍ය අවපාතය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් අසීරු අඩියක සිටින හෙයින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ඇප පැකේජයක් සඳහායි පැරිසි සමාජය මෙම සහාය ලබාදෙන්නේ.
පැරිස් සමාජයේ පරමාර්ථය වන්නේ ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීමට නොහැකි රටවල් සඳහා තිරසාර ණය සහන ලබා දීමයි.
පැරිස් සමාජයේ සාමාජිකයින් යටතට රටවල් 22 ක් ඇතුළත් වන අතර, ඒවා සියල්ලම ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ (OECD) සාමාජිකයින් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම රටවල් වන්නේ ඔස්ට්‍රෙලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ජපානය, නෙදර්ලන්තය, නෝර්වේ, රුසියාව, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයයි.
වර්ෂ 1956 සිට මෙම සමාජය අමෙරිකානු ඩොලර් බිලියන 614ක් ගනුදෙනු කර තිබෙනවා.
ණයගැති රටවල් 102ක් සමඟ ගිවිසුම් 478කට එළැඹ ඇති බව ද පැරිස් සමාජයේ නිල වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
පැරිස් සමූහයේ රටවල් අතීතයේ දී ප්‍රධාන ණය දෙන්නන් වූ නමුත් මෑත වසරවල දී චීනය විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා බවට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ, විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන්නේ ඉන්දියාව, චීනය සහ ජපානය වන අතර, චීනය ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයවලින් 52% ක් ද, ජපානය 19.5% ක් ද, ඉන්දියාව 12% ක් ද දරනවා.
ඉන්දියාව 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කළා.
ලංකාවට අවශ්‍ය මූල්‍ය සහතිකයක් ලබා දෙන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දන්වා ඇති අතර, අනෙකුත් ජාතීන් එහි අඩිපාරේ ගමන් කරනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුව වුණා.

