විදුලි ගාස්තු නගී – අද සිට කප්පාදුව නවතී

විදුලි ගාස්තු නගී – අද සිට කප්පාදුව නවතී

අද (16) සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන බව බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (16) අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා බැංකුව රුපියල් බිලියන 22ක් සහ මහජන බැංකුව රුපියල් බිලියන 50ක ණය මුදලක් විදුලිබල මණ්ඩලයට ලබාදීමට කැමැත්ත පළ කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

මෙම විදුලි ගාස්තු සංශෝධනය සිදුකරනු ලැබුවේ අඛන්ඩව විදුලිය උත්පාදනය කිරීම සඳහා වැය වන වියදම පියවා ගැනීම සඳහා පමණක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන පිරිස් සඳහා ඉදිරියේ දී සහන ලබාදීමට සහ ආගමික සිද්ධස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතනය සඳහා සූර්ය පැනල ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

තවද නව විදුලි ගාස්තු සංශෝධනය අද (16) සිට ක්‍රියාත්මකයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට උපදෙස් දී ලබා දී තිබුණා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ පසු විදුලි කප්පාදුව අත්හිටුවා අඛන්ඩව විදුලි සැපයුමක් තහවුරු කරන ලෙස.