ජනතාවගේ මුදල්, ජනතාව වෙනුවෙන් වැය කළ යුතුයි, මේ වෙලාවේ නැති ඡන්ද මොකටද ?

ජනතාවගේ මුදල්, ජනතාව වෙනුවෙන් වැය කළ යුතුයි, මේ වෙලාවේ නැති ඡන්ද මොකටද ?

වර්තමානයේ ජනවරමක් නැති පාලනයක් රටේ තිබෙන බවත්, ජනතාවගේ කැමැත්ත මැනීමේ නිශ්චිත වුවමනාවක් ඇති බවත් ජන මතය අවශ්‍ය වන්නේ මෙවැනි මොහොතක බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (15) පැවති පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී අනුර කුමාර දිසානායකවැඩි දුරටත් දැක්වූ අදහස්,

“මේ පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ මාර්තු මස පැවැත්වීමට තිබූ මැතිවරණයක්. මේ මාර්තු මාසෙ 20දාට පෙර සියලුම පළාත් පාලන ආයතන යළි පිහිටුවිය යුතුව තිබෙනවා. ඒ සඳහා මැතිවරණය පැවැත්වීමේ පූර්ණ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. නාමයෝජනා භාරගෙන මැතිවරණ දිනය ප්‍රකාශ කළාට පසුව 23 දිනය වන විට දින 33ක් ගතවෙලා තිබෙනවා. ඉතිරිවී තිබෙන්නේ දින 11ක් වැනි කෙටි කාලයක්. 22 වෙන විට තැපැල් ඡන්ද විමසීමේ අවස්ථාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා.

ආණ්ඩුවට අවශ්‍යව තිබෙනවා මේ තැපැල් ඡන්දය ප්‍රකාශයට පත්කිරීම වැළැක්වීමට. ඒ සඳහා අධිකරණයේ හෝ පාර්ලිමේන්තුවේ අවස්ථාවක් නැහැ. මැතිවරණ ක්‍රියාදාමය කඩාකප්පල් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මැදිහත් වෙමින් තිබෙනවා. ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයක් මඟින් මුදල් වියදම් කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳ නියෝගයක් භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලබාදෙනවා.

එම ක්ෂේත්‍රයට මැතිවරණය ඇතුළත් කර නැහැ. ඔහු භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝගයක් දෙන්න උත්සාහ කරනවා ඡන්දෙට සල්ලි දෙන්න එපා කියලා.

පසුගිය අය-වැයෙන් මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන්කර තිබෙනවා. දැන් භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගකීම තමයි ඒ ප්‍රතිපාදන නිසි පරිදි අදාළ වැය ශීර්ෂයන්ට අනුව ලබාදීම. භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගවීම තිබෙන්නේ එතැනට. විකෘති ජනවරමක් නැති පාලනයක් රටේ තිබෙන්නේ. ජනතාවගේ කැමැත්ත මැනීමේ නිශ්චිත අවශ්‍යතාවක් තිබෙනවා. ජන මතය අවශ්‍ය වන්නේ මේ වගේ වෙලාවක. ව්‍යවස්ථානුකූලවත් ඡන්දය ඇවිත් තිබෙනවා. රටේ පවතින කැලඹිලි අනුව ජනතාවගේ මතය කුමක්ද කියා දැනගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් පුරවැසියන්ට තිබෙනවා. මේ වෙලාවේ නොපවත්වන ඡන්ද මොකටද?

ආණ්ඩුව විසින් ගෙනඑන ප්‍රධාන තර්කය තමයි මුදල් නැති බව පැවැසීම. තිබෙන්නේ සීමිත මුදල් ප්‍රමාණයක් නම් ප්‍රමුඛතාව අනුව වැය කළ යුත්තේ මොන මොන ඒවාටද යන්න තීරණය කිරීමට තමයි පාර්ලිමේන්තුව, භාණ්ඩාගාරය ඉන්නේ. මේ ජනතාවගේ මුදල්, ජනතාව වෙනුවෙන් වැය කළ යුතුයි. ඒ අර්ථයෙන් වුවද මේ ජනවරම විමසිය යුතුයි.” යනුවෙන්