අපේක්ෂා රෝහලේ පරිත්‍යාග පිළිකා ඖෂධ අළෙවි කළ බව කියන සිද්ධිය ගැන පරීක්ෂනයක්

අපේක්ෂා රෝහලේ පරිත්‍යාග පිළිකා ඖෂධ අළෙවි කළ බව කියන සිද්ධිය ගැන පරීක්ෂනයක්

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ එන්නත් තොගයක් අළෙවි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බලා ඉතා කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එහි පරීක්ෂණ වාර්තාව අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව නීත්‍යානුකූල හා විනායානුකූල ක්‍රියාමාර්ග ගැනීමටත් යළි එවැනි තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ පැවැත්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන අංශය, හදිසි වැටලීම් අංශය යන අංශවලින් සමන්විත පරීක්ෂණ කණ්ඩායම් දෙකක් අද දිනයේම ඒ සදහා යොමු කර තිබෙනවා.

එමෙන්ම ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් වන මුලික විමර්ෂණ වාර්තාවක් දිනක් ඇතුළත අමාත්‍යංශය වෙත ලබා දෙන ලෙස මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා වෙත අමාතංශ ලේකම් විසින් උපදෙස් ලබා දී ඇති බවද සඳහන්.

මේ අතර මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළ එන්නත් තොගය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ ඖෂධවේදියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එන්නත් තොග නිවසට රැගෙන ගොස් අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇති බව සඳහන්.

COMMENTS