පුංචි ඡන්දය කල් දැමීමේ පෙත්සම කල් යයි

පුංචි ඡන්දය කල් දැමීමේ පෙත්සම කල් යයි

එළඹෙන මාර්තු 09 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවීම කඩිනම් කිරීම අවශ්‍ය නොවන කාරණාවක් බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට අද (20) දැනුම් දුන්නා.

ඒ එළඹෙන 23 වැනිදා විභාග වීමට නියමිත වූ අදාල මෝසම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙමින්.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥයා අධිකරණය වෙත දන්වා සිටියේ මේ මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද විමසීම කල් දමා ඇති බවට විශ්වාස කටයුතු මාර්ගවලින් දැනුම් දී ඇති බැවින් මෝසමක් මාර්ගයෙන් අදාල නඩුව කලින් කැඳවීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි.

රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙමින්, ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර තිබුණා.