පුංචි ඡන්දය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම යළි කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙස විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර විසින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම මැයි 11 දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
ඒ අදාල පෙත්සම අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී නැවත සලකා බැලූ අවස්ථාවේ දී යි.
වර්තමානයේ රට තුළ දැඩි ආර්ථික අර්බුධයක් නිර්මාණය වී ඇති පසුබිමක පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස ඉල්ලා ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස නම් කර තිබුණේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඇතුළු නව දෙනෙක්.
නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ලබාදුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් මතුවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 20 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ඒකනායක සඳහන් කළේ, මැතිවරණයේ ඉදිරි කටයුතු අද පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව ප්‍රකාශ කළ හැකි බවයි.

