අසාධාරණ බදු පනතට එරෙහිව වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයකට සැරසෙයි

අසාධාරණ බදු පනතට එරෙහිව වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයකට සැරසෙයි

අසාධාරණ බදු පනතට එරෙහිව හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, තම සංගමය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමක් අද (28) පෙරවරු 10.00 කැඳවා ඇති බවය.

වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසුවේ, හෙට දිනයේ වර්ජනය සඳහා තෙල්, වරාය, විදුලිය වෘත්තීය සමිති ද සම්බන්ධවන බවයි.

හෙට දිනයෙන් පසුව රජය තම ගැටලුව විසඳීමට පියවර නොගන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පැවසීය.

මේ අතර පළාත් පාලන ඡන්දය කල් දැමීම, ගුරු – විදුහල්පති වැටුප් විෂමතා, උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (01) කළු විරෝධතාවයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

එදිනට ගුරුවරුන් කළු ඇඳුමින් සැරසී පාසැල්වලට පැමිණීමට තීරණය කර ඇති බවයි එම සන්ධානයේ නියෝජිත ජෝෂප් ස්ටාලින් කියා සිටියේ.