පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදන වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය ඊයේ (පෙබ. 28) නියෝගයක් ලබා දෙමින් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොනු කර තිබූ අභියාචනයක් (CA/RTI/04/21) නිශ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය ඒ බව සඳහන් කළේ ය.

වත්කම් – බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඇතුළු තොරතුරු මුදා හරින ලෙස දන්වමින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට ලබා දෙන ලද තීන්දුවක් බල රහිත කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුව විසින් මෙම අභියාචනය 2021 වසරේදී ඉදිරිපත් කරනු ලැබ තිබිණි.‍

සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරු මෙම තීන්දුව ලබා දුන්හ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු මහජනතාව විසින් පත් කරන ලද පිරිසක් බවයි.

එම පිරිස මහජනතාව විසින් නඩත්තු කරන අතර ඔවුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් කිරීමට නීතියෙන් බැඳී සිටින බවත් තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

එසේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් නොකිරීම නීතියෙන් වරදක් යැයි පෙන්වා දෙන විනිසුරුවරයා මෙම චෝදනාවට වරදකරු වන පුද්ගලයෙකුට අවුරුද්දක් නොඉක්මන සිර දඬුවමක් හෝ රුපියල් දහසක් නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙක ම වුව ද නියම කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකියාව තිබෙන බවත් පෙන්වා දී තිබෙනවා.

වත්කම් – බැරකම් ප්‍රකාශ ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඇතුළු ඒ පිළිබඳ තොරතුරු ඉල්ලමින් මාධ්‍යවේදී චාමර සම්පත් පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීමකට අදාළව මෙම අභියාචනය විභාගයට ගැනිණි.

පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට යොමු කළ අභියාචනය දීර්ඝ ලෙස විභාග කිරීමෙන් පසුව අදාළ තොරතුරු මුදා හරින ලෙස කොමිසම පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට නියෝග කළේ ය.

එම තීන්දුව ගනු ලබා දෙනු ලැබුවේ තොරතුරු කොමිසමේ හිටපු කොමසාරිස්වරුන් වන මහින්ද ගම්මන්පිල, හිටපු විනිසුරු රෝහිණි වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ එස්. ජී. පුංචිහේවා සහ සෙල්වි තිරුචන්ද්‍රන් විසිනි.

එම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනු කිරීමෙන් පසු මාධ්‍යවේදී චාමර සම්පත් වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතිඥ සුභාංගි විමලනාදන්, නීතිඥ නිලූකා දිසානායක නීතිඥ කණ්ඩායම පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා පෙනී සිටි අතර කොමිසම වෙනුවෙන නීතිඥ හිමාලි කුලරත්න සහ නීතිඥ ජයනි ඇල්ලේපොල පෙනී සිටියහ.

මාධ්‍යවේදී චාමර සම්පත් විසින් 2018 වසරේදී පාර්ලිමේන්තුවට මෙම තොරතුරු ඉල්ලීම යොමු කරන ලද අතර 2018.09.11 දින මේ සම්බන්ධයෙන් තොරතුරු කොමිෂන් සභාවට අභියාචනා කර ඇත.

වසර 2කට වැඩි කාලයක් කොමිෂන් සභාව තුළ මෙම කාරණය විභාග කිරීමෙන් අනතුරුව තොරතුරු මුදාහරින ලෙස කොමිෂන් සභාව නියෝග කළේ ය.

එයට විරුද්ධව පාර්ලිමේන්තුව විසින් 2021 වසරේදී අභියාචනාධිකරණය හමුවේ මේ සම්බන්ධ අභියාචනය ගොනු කරන ලදී.