රට පුරා කිසිම වැඩවර්ජනයක් නැහැ

රට පුරා කිසිම වැඩවර්ජනයක් නැහැ

දැවැන්ත වැඩවර්ජනයක් සිදුකරන බවට ප්‍රකාශ කෙරුණද ප්‍රායෝගිකව එවැන්නක් පෙනෙන්නට නැති අතර සෞඛ්‍ය,විදුලිය, දුම්රිය,ලංගම ඇතුළු ක්ෂේත්‍ර තුළ කටයුතු සිදුවෙන බවත් වරාය සහ බැංකු ක්ෂේත්‍රයේ යම් වර්ජනයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය,

“අද දිනයේ රටපුරා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබුණා. නමුත් ප්‍රායෝගික තත්ත්වය දිහා බැලුවම අපිට පේනවා රටේ කිසිම ක්ෂේත්‍රයක එවැනි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. සාමාන්‍ය විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩ කරනවා, අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් සාමාන්‍ය විදිහට වැඩ කරනවා, තැපෑල ගත්තත් සාමාන්‍ය විදිහට වැඩ කරනවා ඒ අය උද්ඝෝෂණ ව්‍යාපාරයක් විතරයි ක්‍රියාත්මක කරන්නේ වැඩ වර්ජනයක් නෑ.” යනුවෙන්

මේ අතර ඇතැම් පාර්ශව වල ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ මැතිවරණය පැවැත්වීම වන බවත් තවත් අය ඉල්ලීම් කර තිබුණේ ඖෂධ හිඟයට විසඳුම් දෙන ලෙසත් වන අතර ඒ අනුව මෙම ඉල්ලීම් පරස්පර බවයි රත්නප්‍රිය සඳහන් කළේ.

ඖෂධ හිඟය පියවීම ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා බදු වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව හෙතෙම කියා සිටියේය.

එහෙයින් පවතින තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සියලු දෙනාට කැප කිරීම් කිරීම සිදුවන අතර වැඩියෙන් තියෙන තැනකින් සුළු ප්‍රමාණයක් ගෙන දුප්පත් ජනතාව වෙත ලබා දීම සිදුළ නොහැක්කේ ඇයිද යන්න ඔහු මතුකරයි.

මෙය සද්භාවයෙන් කළ යුතු බව රත්නප්‍රිය ප්‍රකාශ කළේය.

මෙහි පවතින්නේ තුන්වෙලෙන් එක වේලකට වැටුණු ජනතාවට දෙවේලක් කන්න දීමේ උත්සහයක් බවයි ඔහු පැවසුවේ.

බදු මඟින් ලබාගන්නා රු. බිලියන 83 වැයවන්නේ අත්‍යවශ්‍ය කාරණා සඳහා වන බවත් මේ වෙනුවෙන් කැප කිරීමක් කළ නොහැකි නම මේ රට ගොඩගත නොහැකි බවද සමන් රත්නප්‍රිය වැඩි දුරටත් පැවසීය.