පින්බර මැදින් පොහොය අදයි

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.
මැදින් පොහොය උදාවන්නේ මාර්තු මාසයේදීය. මෙම පොහොය ලාංකීය අපට මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දවසකි.
බුදුරජාණන් වහන්සේ සිය පියාණන් සුද්ධෝදන රජු සහ සිය ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට විසිදහසක් සංඝයා වහන්සේ පිරිවරාගෙන කිඹුල්වත්පුරය බලා වැඩම කරන්නේ මැදින් පොහොය දිනකය. ඒ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් සත් අවුරුද්දකට පසුවය.
අභිමානවත් ශාක්‍යයන්ගේ මානය දුරුකරවාලීම සඳහා බුදුන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ එම ගමනේදීය. දායාද ඉල්ලා පැමිණි රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ උතුම් දායාදය ලබා දුන්නේද මැදින් පෝය දිනකදීය. රජ කිරුළ හැර දමා ගොස් පැවිද්ද ලැබූ සිද්ධාර්ථ කුමරුන්ගෙන් පසුව කිරුළ හිමිවන්නට උරුමකම් කී නන්ද කුමරු පමණක් නොව ඉන්පසුව කිරුළු දැරීම සඳහා උරුමය ලැබූ රාහුල කුමරුන්ද පැවිදි කරවීම ගැන සුද්ධෝදන රජු බෙහෙවින්ම කණස්සල්ලට පත්වීම නිසා දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතිය නොලබා කුලදරුවන් පැවිදි නොකරන මෙන් පිය රජු බුදු හිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද්දේද මැදින් පුන් පොහෝ දිනයේදීය. යශෝධරාවන්ගේ සිත තුළ පැවති වියෝ දුක තුනී කරවීම සඳහා සඳකිඳුරු ජාතකය බුදු හිමියන් දේශනා කර වදාළේද මෙදිනමය.
බුද්ධ චරිතයේ මෙම වැදගත් සිදුවීම් සිහිපත් කරමින් අද දිනයේ බෞද්ධ ජනයා දාන, ශීල හා භාවනා ආදී පිංකම්වල කටයුතුවල නියැළෙති.

