චීනය – ශ්‍රී ලංකාවට IMF ණය ගැනීමට මඟ පාදයි

චීනය – ශ්‍රී ලංකාවට IMF ණය ගැනීමට මඟ පාදයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍යාධාරය ලබා ගැනීමට තිබුණු “විශාලතම බාධාව” ඉවත් කරමින්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය දෙන බවට චීනය සහතික වී ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ, මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනය මාර්තු 6 වන දින එරට අපනයන – ආනයන බැංකුව හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය ලිඛිත සහයෝගය ලබා දී ඇති බව ය.

කෙසේ වෙතත්, චීන අපනයන – ආනයන බැංකුව මෙතෙක් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති බව ද එම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව, සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් ලබා දීමට එකඟ වන ලද ණය මුදල අනුමත කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍යව තිබුණු ණය හිමි රටවලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය චීනය ගත් මෙම පියවරත් සමග සම්පූර්ණ වනු ඇත.

ශ්‍රී ලංකාව 2022 වසර අවසානය වන විට මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කළේ ය.

https://bloom.bg/3kSLbCY

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි තැබූ ට්විටර් සටහන පහතින් දැක්වේ.

මේ අතර චීන අපනයන-ආනයන බැංකුව විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යොමු කරන ලද ලිපිය ඊයේ (මාර්තු 6) රාත්‍රියේ තමන් වෙත ලැබුණු බව ත් එයට අත්සන් තබා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කිරීමට පියවර ගත් බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය.